බබාට නමක් 2

අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ.

එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි  දැම්ම කියමුකො. ඊලඟ බබාටත් නමක් හොයන්න වෙන එක ඊටත් වඩා අමාරු කාරණයක් බව තේරුණෙ කරන්න යනකොට තමා.

ඇයි අමාරු? තේරුමක් නොතියෙන්නත් ඕනෙ; අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්නත් ඕනෙ; ඒ මදිවට අයියගෙ නම වගේ වෙන්නත් ඕනෙ කියලා අපි තීරණය කළානෙ. අනිත් එක මේ පාර කෙල්ලෙක්! කෙල්ලෙක්ගෙ නමක් වෙන්නත් ඕනෙ. ලේසි නෑ! ඒ මදිවට එකෙක් එක්ක වැඩපල කරගන්නෙ බොහොම අමාරුවෙන්, තව නමුත් හොයන්නම තමා වෙලාව තියෙන්නෙ.  එහෙමයි කියලා දරුවට නමක් නොදා පුළුවන්යෑ.

ඔන්න ඉතින් මේ පාර ලංකාවෙන් නම් ටිකක් ආනයනය කරලා නමක් හදාගන්න බැලුවා. මොන, ඒ නම් කිව්වහම හක්ක පනිනවා. ලොකු එකාට දාල තියන නම මෙහෙ ඉන්න සුද්දො කියන්නෙත් වරද්දලා. කොහොමත් වාසගමනම් රුවිත කරලා තමා කියන්නෙ. ආනයනය කළ නම් දැම්මොත් සුද්දො කියන්නෙ මුල අකුර විතරයි ෂුවර් එකටම. ඒ නම් ටික එහෙම්මම පැත්තකට දැම්මා.

මගෙ ඔළුවට ඇවිත් තිබ්බෙ අයියගෙ නමේ අකුරු ටික එහෙට මෙහෙට දාලා නමක් හදලා බලන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවනකොට මෙන්න නමක් සෙට් වුනා. අයියගෙ මැද නම කෙල්ලෙකුට ගැලපෙන විදියට වෙනස් කළා. ඔන්න දැන් කෙලි පොඩ්ඩෙකුට හරියන්න නමක් තියනවා. ඒත් ඉතින් මේ නම බැකප් එකක් විදියට තියාගෙන ඊට වඩා හොඳ නමක් ලැබුනොත් දානවා කියලා හිතන් හිටියෙ. ඒත් හරියන නමක් ලැබුනෙ නෑ. ඒ මදිවට මේ කෙල්ලට ඉක්මනට ලෝකෙ බලන්න එන්න ඕනෙ වුනානෙ. ඉතින් මක්ක කොරන්නද? අර බැකප් නම අනුමත කරලා නාමාරූඪ කළා.

අයියා “නදිත දිල්මික”. නංගි “තිනුදි දිලුනිකා”.

මේ ඉන්න කෙලි පොඩ්ඩ ඉපදිලා දවසකින්.
අයියයි නංගියි දැන් ටිකක් ලොකුයි.

ආතර් සී. ක්ලාක්ගේ මළගෙදර

Sir Arthur C Clerkආතර් සී. ක්ලාක් අපේ රටේ නොඉපදුනාට ලංකාවෙ පුරවැසියෙකුට ලබාගන්න පුළුවන් උපරිම ගෞරවය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම්ලත් අතලොස්සක් දෙනා අතරට එක් වුන ලංකාවෙ සම්මාන පුරවැසියෙක් බව නොදන්න කෙනෙක් නැතුව ඇති.

ලංකාවෙ විශ්වවිද්‍යාලවල පරිපාලන ප්‍රධානියා උප කුලපති වුනාට කුලපති කෙනෙකුත් ඉන්නවා උත්සව අවස්ථාවලදි විතරක් සහභාගි වෙන. ආතර් සී. ක්ලාක් මැතිතුමාත් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති විදියට හිටියා 1979 ඉඳන් 2002 වෙනකම්. (2002 දි අපේ රටේ තවත් බුද්ධිමතෙක් වන විද්‍යාජෝති, ආචාර්ය රේ විජේවර්ධන මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්වුනා.)

අපි මොරටුව විශ්වවිද්‍යාලයට ඉගෙනගන්න යනකොට කුලපති වෙලා හිටියෙ ආතර් සී. ක්ලාක් මැතිතුමා. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න අතරතුර තමා එතුමා වෙනුවට ආචාර්ය රේ විජේවර්ධන කුලපති වෙලා ආවෙ. මේ වෙනස අපිට මහ ලොකු දෙයක් නොවුනට අපේ බැචෙක් වුන “සුදා”ටනම් සෑහෙන දුක හිතෙන සිද්ධියක් වුනා.

කැම්පස් යන කාලෙ කාගෙ හරි මළගෙයක් ආරංචි වුනොත් පුළුවන් විදියට උදව් කරනවනෙ හැමෝම. සමහරු සම්මාදමක් දීලා ෂේප් වෙන අතරෙ සුදා වගේ සමාජ සේවකයො සැදී පැහැදී ඉන්නවා ලෙක්චර්ස් අතපසු කරගෙන හරි මළගෙදර උදව්වට යන්න. (ඒකෙ වැරැද්දක් එහෙම කිව්වා නෙවෙයි ඔන්න.) ඒ විදියට රටේ හතරකොණේම තිබ්බ මළගෙවල්වල කොඩි ඇදලා, මරණ දැන්වීම් අලෝලා, නිදි මරලා අත්දැකීම් එකතු කරගත්ත ටික දෙනාගෙන් කෙනෙක් තමා සුදා.

දවසක්දා මළගෙදරක නිදිමරලා බෝඩිමට ඇවිත් දවල් නිදාගන්න අතරෙ සුදා හීනයක් දැකල තියනවා. ඒ හීනය මෙහෙමයි.: ආතර් සී. ක්ලාක් මැතිතුමා හදිසියේ (කිව්වට හදිසියෙම නෙවෙයි, ලෙඩ වෙලානෙ හිටියෙ කාලෙක ඉඳන්) මිය පරලොව යනවා. 1956 ඉඳන් ලංකාවෙ ජීවත් උනාට එතුමටත් නෑදෑ-හිත මිත්‍රයෝ ඉන්නවනෙ උපන් රටේ. අනික කවුද අකමැති තමන්ගෙ මිනිය උපන් මව් බිමට පෝර වෙන්න පසට යට කරනවට. ඒ නිසා එතුමගෙ නිසල දේහය ඇමරිකාවට අරගෙන යනවා අවසාන ගෞරව දක්වන්න.  (ඇමරිකාවට..? හෝව් හෝව්…මට වැරදුනා එහෙම නෙවෙයි. ආතර් සී. ක්ලාක් ඉපදුනෙ බ්‍රිතාන්‍යයෙ තමා. ඒත් සුදා හිතන් ඉඳල තියෙන්නෙ එතුමා ඇමරිකාවෙ ඉපදුනා කියලනෙ. ඉතින් හීනෙ හැටියට එතුමගෙ දේහය අරන් යන්නෙ ඇමරිකාවට හොඳේ.)

ඉතින් කැම්පස් එකේ මළගෙදරක් කිව්වහම නොගිහින් පුළුවනෑ. අනික කැම්පස් එකේ ලොකුම ලොක්කගෙනෙ. අනික එහෙ ලංකාවෙ විදියට කොඩිවැල් අදින්න, “මොරටුව සරසවි සිසුන්ගේ සාතිශය සංවේගය” කියලා තොරණ ගහන්න, අමාරුවෙන් සල්ලි එකතු කරලා ඇඳගත්ත බැච් එකේ සංවේගය පළකරන බැනර් එක එල්ලන්න, ලයිට් කණුවල-බෝක්කු වල මරණ දැන්වීම් අලවන්න කවුද ඉන්නෙ? අනිවා යන්නම ඕනෙනෙ මළගෙදර. ඉතින් සල්ලි සල්ලි කියලා බලන්න්නෙ නැතුව ප්ලේන් එකේම ඇමරිකාවට යනවා.

එහෙම ගිහින් මළගෙදර ඔය කිව්ව වැඩ කරලා, නිදි මරන අතරෙ ඕමි අතක් බලලා, කැරමකුත් ගහලා, බූරු ගහන තැනටත් පොඩ්ඩක් ඔළුව දාලා, ආයෙත් 304 එහෙමත් බලලා කම්මැලි හිතුනහම ඇමරිකාවෙ පාර අයිනෙ තියන බෝක්කුවක් උඩට වෙලා බුලත් විටක් කකා, සිගරට් එකකුත් උර උරා, ඕප දූප කථා කර කර ඉන්නව.

අන්න ඒක තමා සුදා හීනෙන් දැක්කෙ. ආතර් සී. ක්ලාක් මහත්තය කුලපති ධූරයෙන් ඉවත් වුනාම කැම්පස් එකේ කොල්ලො විදියට එතුමගෙ මළගෙදර යන්නෙ කොහොමද? ඇමරිකාවෙ බෝක්කුවක් උඩ විටක් කකා ඕපදූප ගහන්නෙ කොහොමද? මොරටුව සරසවි සිසුන්ගේ සාතිශය සංවේගය කියලා තොරණක් ගහන්නෙ කොහොමද? අන්න ඒකයි සුදා දුක් වුනේ.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

http://www.clarkefoundation.org/acc/biography.php

බස් කතාබස්

ලංකාවෙ බස් ගැන කථාකරන්න ගියොත් ඒකට වෙනම බ්ලොග් එකක් පටන් ගන්න වෙනවා. ඇමරිකාවට ආවට පස්සෙ මම දැක්ක බස් ගැනයි මේ කතාබහ.

ලංකාවෙ බස්වල ටිකට් නැතුව හොරෙන් ගිහිල්ලා පුරුද්දක් නැති වුනත්, ඇමරිකාවට ආවට පස්සෙ ආසාවටවත් හොරෙන් බස් එකේ යන්න අවස්ථාවක් ලැබුනෙ නෑනෙ. ඒකට හේතුව මම ඉන්න නගරයේ තියන බස් සේවාව නොමිලයේ පවත්වාගෙන යාමයි. ඉතින් හොරෙන් යන්නෙ කොහොමද? (අපි ඉන්න නගරෙ බස් සේවාව නොමිලේ වුනාට ඇමරිකාවෙම තියන බස් සේවා නොමිලේ සපයන ඒවා නෙවෙයි.) නොමිලේ කිව්වට වක්‍රාකාරව අපෙන් (යම් ප්‍රමාණයක් හෝ) සල්ලි ගන්නවා. මේ ප්‍රදේශයේ තියන විශ්වවිද්‍යාල, තාක්ෂණික පාසල්, නගර සභා තමයි මේ බස් සේවාවෙ බරපැන දරන්නෙ. මධ්‍යම ආණ්ඩුවෙනුත් දායකත්වයක් දෙනවා පොදු බස් සේවාවක් නිසා. විශ්වවිද්‍යාලයේ සිසුන් මේ බස් සේවාවට දායක මුදලක් ගෙවන්න ඕනෙ.

මේ බස් සේවය අවට තියන නගර කීපයක් සහ විශ්වවිද්‍යාල, තාක්ෂණ පාසල් වලට ගමන් පහසුව සපයනවා. සුපිරි වෙළඳසැල් කීපයක් මේ බස් මාර්ගවල තියන නිසා තමන්ටම වාහනයක් අහිමි අයට ගොඩක් පහසුවක්. රජයේ කාර්යාල ගණනාවකටද මේ බස් සේවාවෙන් ගමන් ගන්න පුලුවන්.

මේ බස්වල ඉන්නෙ රියැදුරා විතරයි. ලංකාවෙ වගේ කොන්දොස්තරලා නෑ. දොර අරින්නෙ වහන්නෙ ස්විචයක් මඟින් නිසා සහ ටිකට් දෙන්න අනවශ්‍ය නිසා රියැදුරාටත් වැඩේ ලේසියි. ඊට අමතරව මේ බස්වල තියෙන්නෙ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් (automatic transmission) සහ බලගැන්වූ සුක්කානමක් (power steering). ඒ නිසා මහන්සියක් නැතිවම රිය පදවන්න පුලුවන්. කාන්තාවන් මෙන්ම වයසක අයද බස් රථ රියැදුරන් ලෙස සේවය කරනවා. සිසිර ඍතුවේදී රත්කරගෙනත්, ගිම්හානයේදී වායු සමීකරණ දාගෙනත් තමයි බස් රථය යන්නෙ.

බස් රථය නියමිත කාලසටහනකටයි ගමන්ගන්නේ. වාහන තදබදයද සීමිත නිසා බස් රථය යම් ස්ථානයකට නියමිත වෙලාවට නොපැමිණෙන්නේ කලාතුරකින්. එක් එක් ප්‍රදේශයට ගමන් මාර්ගය බැගින් ගමන් මාර්ග ගණනාවක්ම තිබෙනවා. එක් බස් රථයක පැමිණ වෙනත් මාර්ගයක බස් රථයකට මාරුවීමට හැකිලෙසයි කාලසටහන් සකස් කර තිබෙන්නේ. එක් බස් රථයක් ප්‍රමාද වෙනවානම් සහ මාරුවීමට මඟීන් සිටිනවානම් බස් රථයේම සවිකොට ඇති රේඩියෝ සන්නිවේදක මගින් අනිත් බස් රථයට ඒ බව දැනුම් දිය හැකියි.

නීතියක් ලෙසම බස් රථයට ගොඩවිය යුත්තේ ඉදිරි දොරටුවෙන්. පිටවීමට ඕනෑම දොරටුවක් භාවිතා කළ හැකියි. සාමාන්‍යයෙන් බසයට ගොඩවීමට සිටින මඟීන් පිටවන සියල්ලන්ම පිටවනතෙක් බසයට ගොඩවන්නේ නෑ. (ඒකට ලංකාවේ නේද?) බස් රථයේ කන්න-බොන්න තහනම්. (කමින් බොමින් සිටි කෑම-බීම අරන් බසයට ගොඩවෙන්න දෙන්නෙත් නෑ. බස් එක එනකම් කෝපි එහෙම බොමින් සිටි අය ඒක විසි කරලා තමයි නගින්නෙ.) බස් රථයේ සතුන් අරගෙන යාම සහ ඝෝෂාකාරී සංගීතය භාවිතයද තහනම්. රියැදුරාට පුළුවන් ඒ වගේ අයට බසයෙන් පිටවෙන ලෙසට කියන්න.

බස් රියැදුරාට මඟීන් අමතන්න මයික් එකක් තියනවා. බස් නැවතුමකට ආවහම ඒ කොතැනද කියලා කියනවා. (විශේෂයෙන් විශ්වවිද්‍යාලයට අලුතින් සිසුන් එක කාලයට එහෙම.) බස් රථය නවත්තන්නේ නියමිත නැවතුම්පොළවල් වලදී විතරයි. මගදි නවත්තලා මඟීන් නංවාගැනීම තහනම්.

මේ බස් වලට රෝදපුටුවල ගමන්ගන්නා අයටද ගොඩවීමට පුළුවන්. ඒ සඳහා බස් රථ විශේෂයෙන් සකස් කර තිබෙනවා. රෝදපුටුව බස් රථය තුලට ගත්පසු බස් රියැදුරා පටි දමා රෝදපුටුව සුරක්ෂිත කළ පසුයි යලි ගමන් අරඹන්නේ. (පරක්කු වෙනවා කියල මැසිවිලි කියන්නෙ නෑ කවුරුත්.)

බස් රථවල තියන තවත් පහසුකමක් තමා බයිසිකල් අරන් යන්න හැකිවීම. ගේ ගාවින් බස් එකට බයිසිකලේ පටවගෙන, විශ්වවිද්‍යාලය ගාවින් බැහැල ඉතුරුටික බයිසිකලේ යන්න පුළුවන් නිසා විශ්වවිද්‍යාල සිසුන් මේ පහසුකම පාවිච්චි කරනවා. (මෙහෙ විශ්වවිද්‍යාලත් හරිම පොඩියිනෙ. පයින් යන්න එහෙම හරිම ලේසියි.)

එක් එක් මාර්ගවල බස් සේවය තියන වෙලාව වෙනස්. ඒත් ප්‍රධාන මාර්ගයේ බස් සේවාව උදේ 7 ඉඳන් පහුවෙනිදා  අළුයම 3 වෙනකම් වැඩ. එච්චර පාන්දර වෙනකම් තියෙන්නෙ බාර් ගානෙ ගිහින් බීලා වාහන එලවන්න බැරි අයට පරිස්සමින් ගෙදර එන්නයි. සෙනඟ නෑ කියලා රෑ වෙනකොට බස් ධාවනය නවත්තන්නේ නම් නෑ. සාමාන්‍යයෙන් පැය භාගයකට වරක් ඇති ප්‍රධාන මාර්ගයේ බස් සේවාව විශ්වවිද්‍යාලයේ නිවාඩු දිනවල සහ වැඩිපුර සිසුන් නොගැවසෙන ගිම්හාන කාලයේදී පැයකට වරක් ලෙස සහ උදේ 7 සිට හවස 7 දක්වා ලෙස කප්පාදු වෙනවා.

බස් රථයේ ඉදිරියේ ඇති ඉලෙක්ට්‍රොනික් පුවරුවකින් බස් රථයේ ගමනාන්තය සඳහන් වෙනවා. ඒ නිසා නොදන්නා අයෙකුට වුනත් එක වගේම බස් රථ අතරින් තමන් යා යුතු බස් රථය තෝරාගැනීම පහසුයි. මේ පුවරුවේ ගමනාන්තය මෙන්ම Welcome Abroad වගේ සුභපැතුම්ද, විශේෂ ක්‍රීඩා තරඟ, විභාග සහ උත්සව පැවැත්වෙන කාල වලදී ඒවාට සුභපැතුම්ද දකින්න පුළුවන්.

තමන්ගේම වාහන ඇති අය පවා බස් රථයේ ගමන් ගන්නේ වාහන නැවැත්වීමට බලපත්‍රයක් (parking ticket) මිලට ගතයුතු නිසයි. ඊට අමතරව පරිසරය සුරැකීම ගැන හිතන අයත්, ඉන්ධන වියදම ගැන හිතන අයත් තමන්ගේ වාහන ගෙදර තියා බසයේ යනවා. (වාහන නැති අයට ඉතින් විකල්පයක් නෑනෙ.) ඇමරිකාවෙ ආර්ථිකයේ ඇදවැටීම නිසා බස් සේවාවෙ කප්පාදුකිරීම් කිහිපයකුත් සිදුවුනා. ඒකෙන් පාඩුව වුනෙත් ඉතින් බස්වල යන අපිටම තමා.

බස්වල සෙනඟ ඉන්නෙ උදේට සහ හවසට. අනිත් වෙලාවට ඉඳගෙන යන්නවත් කට්ටිය නෑ. බස්වල යන අය ලංකාවට යවලා (ඉන්දියාවට නම් වැඩිය හොඳයි) මාස 3 ක විතර පුහුණුවක් දෙන්න හිතෙන්නෙ සෙනඟ වැඩි වෙලාවටයි. ඇඟවල්වල නොවැදී යන්න හදන කොල්ලො-කෙල්ලො නිසා බස් එකේ ඉඩ තියෙද්දිත් සමහරුන්ව මග දාල යන වෙලාවල් තියනවා. (මෙහෙ ඩ්‍රයිවර්ලටත් ලංකාවෙ කොන්දා මල්ලි කෙනෙක්ව ගෙන්නල හරි සැමන් වගේ සෙනඟ පැකිං ගැන සම්මන්ත්‍රණයක් දෙන්න හිතෙනවා.) බස් එකේ දොරවල වහගෙනනෙ යන්නෙ. ඒ වගේම දොරවල් ගාව හිටගෙන යන්නත් තහනම්. (අනේ කවදා ෆුට් බෝඩ් එකක එල්ලිලා වින්ඩ් සර්ෆින් ක්‍රීඩාව කරන්නද කියලා හිතෙනවා.)

ලංකාවෙ නම් ඕනෑම තැනකට වගේ බස් එකේ යන්න පුළුවන්නෙ. ඒත් සමස්තයක් විදියට ගත්තහම, රටේ විශාලත්වය නිසාදෝ ඇමරිකාවෙ පොදු ප්‍රවාහනය එච්චර ප්‍රචලිත නෑ. එක් එක් නගර සහ ප්‍රදේශවල ප්‍රාදේශීය බස් සේවාත්, ප්‍රධාන නගර යාකරන බස් සහ දුම්රිය සේවාත් තිබුනත්, පහසුවෙන් එක ස්ථානයක සිට තවත් තැනකට යාමේදී පොදු ප්‍රවාහන සේවා සොයාගැනීමට අපහසු වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස අපිට ලඟින්ම තිබෙන වාණිජ ගුවන්තොටුපලට යාමට තමන්ගේම වාහනයක් නැත්නම් කුලී රථයක් අවශ්‍යයි. සාප්පු සවාරියේ යනවිටත් බස් රථවලින් යන්න පුළුවන් සීමිත සාප්පු කීපයකට විතරයි.  ඇමරිකාව ලොව වැඩිම ඛණිජතෙල් පරිභෝජකයා වීමට සීමිත පොදු ප්‍රවාහන පහසුකම් පමණක් තිබීමක් හේතුවක් වෙන්නට ඇති.

ලංකාවෙ බස් සේවාවත් කවදා හොඳ තත්ත්වයකට පත්වෙයිද?

බස් රථයේ ඉදිරියේ ඇති ඉලෙක්ට්‍රොනික් පුවරුවකින් බස් රථයේ ගමනාන්තය සඳහන් වෙනවා. ඒ නිසා නොදන්නා අයෙකුට වුනත් එක වගේම බස් රථ අතරින් තමන් යා යුතු බස් රථය තෝරාගැනීම පහසුයි. මේ පුවරුවේ ගමනාන්තය මෙන්ම වගේ සුභපැතුම්ද, විශේෂ ක්‍රීඩා තරඟ සහ උත්සව පැවැත්වෙන දින වලදී ඒවාට සුභපැතුම්ද දකින්න පුළුවන්.

ඇමරිකාවෙ ක්ලිනික්

අපේ කැදල්ලට එකතුවුන අලුත් සාමාජිකයට නමක් තිබ්බ හැටි කලින් කිව්වනෙ.

ඒ හාදයා අම්මගෙ බඩ ඇතුලට ආව කියලා දැනගත්තහම අපිට සතුටක් වගේම බයකිත් දැනුනා. එතකොට ඇමරිකාවට ඇවිත් ටික දවසයි. ඒ රටේ පාරෙ යන-එන හැටි පවා වෙනස්. ඒවට පුරුදු වෙන්නත් ටිකදවසක් යනවා. ඉතින් දරුවෙක් ලැබෙන එක ගැන කවර කතාද?

අපි ආවෙ ඉගෙනගන්නනෙ. මුලින්ම ඒ විශ්වවිද්‍යාලෙ සෞඛ්‍ය මධ්‍යස්ථානයට යන්න ඕනෙ මොන ලෙඩේට වුනත්. එතැනට ගියාම ඒ අය මූලික පරීක්ෂණ කරලා අපිව යොමු කළා ප්‍රසව-නාරිවේද (Obstetrician/Gynecologist) වෛද්‍යවරයෙක් ගාවට, එතැන ඒ පහසුකම් නැති නිසා. වෛද්‍යවරු එන තැන් දෙකක් කිව්වා අපිට තෝරගන්න. එකක් අපි ඉන්න නගරයේම තියන ක්ලිනික් එකක් (සායනය කිව්වහම අපේ අයට තේරෙන්නෙ නෑනෙ), අනික සැතපුම් 10 ක් විතර ඈතින් තියන නගරයක ක්ලිනික් එකක්. දුර තියන ක්ලිනික් වලට යන්න වෙලාව යනව විතරක් නෙවෙයි, වාහනත් එපායැ. අපිට කොහෙන්ද වාහන. ඒ නිසා ලඟ තියන තැනට යන්න තීරණය කළා.

මෙහෙ හිතුන වෙලාවට වෛද්‍යවරු හමුවෙන්න යන්න බැහැ. ඒකට නියමිත වෙලාවක් වෙන්කරගන්න ඕනෙ. (ලංකාවෙත් චැනල් කරන්න යන්න වෙලාවල් ගන්න ඕනෙනෙ.) ඉතින් අපිත් වෙලාවක් දාගෙන, පාරත් අමාරුවෙන් හොයාගෙන නියමිත වෙලාවට අදාල තැනට ගියා. මුලින්ම කරන්න වුනෙ සෞඛ්‍ය රක්ෂණ විස්තර දෙන එක. ඇමරිකාවෙ සෞඛ්‍ය සේවය හොඳවුනාට මිල අධිකයි. සෞඛ්‍ය රක්ෂණයක් නැතිව ලෙඩවෙන එක හිතන්නවත් හොඳ නෑ. (බිල දැකලා වෙන ලෙඩක් හැදෙනවා.)

ඊට පස්සෙ බබාගෙ අම්මගෙ උස-බර එහෙම මැන්නා. ඒ වැඩ කරන්නෙ හෙද සහායිකාවො. ඊට පස්සෙ ගියෙ හෙදියක් ගාවට. ගැබ් කාලය ගණනය කරලා පරිලෝකන පරීක්ෂණයක් (Ultrasound scan) කළා ඇය විසින්ම.  ලංකාවෙනම් විකිරණවේදී (Radiologist) වෛද්‍යවරයෙක්නෙ ඒ වැඩේ කරන්නෙ. බබාගෙ හදගැස්ම අහන්නත් පුළුවන් වුනා.

ඒ හෙදිය අපෙන් ඇහුවා බබා පිරිමි දරුවෙක්ද, ගැහැනු දරුවෙක්ද කියලා කියන්නද කියලා. අපි අපහසුතාවයට පත් වුනා එතැනදි, මොකද ලංකාවෙනම් ඒක කියන්නෙ ගැබට මාස 7 ක් විතර ගියාමනෙ. ඒ කියන්නෙත් “පිරිමි/ගැහැණු බබෙක් වගේ” කියලා සැකයක් ඉතුරු කරලනෙ. අපි ඒ වෙලාවෙ නම් කිව්වා දැනට ඕනෙ නෑ දැනගන්න කියලා. (ඒත් ඊලඟ පරීක්ෂණයෙදි නම් දැනගත්තා.) ඇමරිකාවෙ පොඩි ක්ලිනික් එකක වුනත් හැම පහසුකමක්ම වගේ තියනවා. මිල අධික උපකරණ යොදාගන්නවා හැම දේටම. ඒ විතරක් නෙවෙයි පරීක්ෂණ මහා ගොඩක් කරනවා පොඩි ලෙඩකටත්. (උපකරණ නැත්තම් වෛද්‍යවරු නිකමුන් වෙනවා කියල හිතෙනවා.)

වෛද්‍යවරයා ගාවට යොමු කරන්නෙ හෙදිය විසින් ඔක්කොම විස්තර කොලේක පිරෙව්වට පස්සෙ. ඒක කියවලා එන වෛද්‍යවරයට හරිම ලේසියි රෝගියව පරීක්ෂා කරන්න. ලංකාවෙ බබාලව හම්බුවෙන්න ඉන්නකොට චැනල් කරලා හොඳම ඩොක්ටර් කෙනෙක්වනෙ අල්ලන්නෙ. අපි ගිය ක්ලිනික් එකේ වෛද්‍යවරු එක්කෙනෙක් නෙවෙයි පහක්ම ඉන්නවා. ඒ අය කණ්ඩායමක් විදියටයි වැඩ කරන්නෙ. කීපදෙනෙක් රෝහලේ වැඩකරන අතරෙ අනිත් අය ක්ලිනික් එකේ වැඩ. ක්ලිනික් එක රෑ වෙනකම් නෑ ලංකාවෙ චැනල් සෙන්ටර් වගේ. වෛද්‍යවරුත් විවේක ගන්න ඕනැනෙ.

වෛද්‍යවරයා/වරිය බොහොම සුහදශීලියි. ඊලඟ ලෙඩාව බලන්න යන්න හිතන් නෙවෙයි අපි ගාවට එන්නෙ. අපිට යම් කාලයක් වෙන් කරලනෙ තියෙන්නෙ. ඒ කාලයෙදි හොඳට ලෙඩාව පරීක්ෂා කරලා, ප්‍රශ්න වලට උත්තර දීලා, හිතත් හදලා තමයි යන්නෙ. අපිට ක්ලිනික් ගිය කාලය පුරා වෛද්‍යවරු පස් දෙනාම මුණගැහුනා. ප්‍රසූතිය වෙලාවෙ ඉන්න අපි කැමති වෛද්‍යවරයෙක් තෝරගන්න ඉඩ දෙනවා.

ක්ලිනික් එකට ගිය දෙවනි දවසෙදි හෙදියක් එක්ක ගොඩක් වෙලා කථා කරන්න අවස්ථාව දුන්නා. අපිට තියන ප්‍රශ්න අහලා විසඳගන්න ඒක හොඳ අවස්ථාවක් වුනා. බබාගෙ අම්මගෙයි, තාත්තගෙයි සෞඛ්‍ය ඉතිහාසය ගැනත් ගොඩක් විස්තර අහලා සටහන් කරගත්තා. ඒ වෙන්න පුළුවන් සංකීර්ණතා ගැන අවබෝධයක් ලබාගන්නයි. (ඒ විතරක් නෙවෙයි, ආච්චිලා සීයලාගෙ සෞඛ්‍ය විස්තරත් ඇහුවා.) සෞඛ්‍ය විස්තර බොහොම රහසිගතයි. ඒ කියන්නෙ රෝගියාගෙ විස්තර වෙනත් පාර්ශවයකට දෙන්න නෑ රෝගියාගෙ අනුදැනුමක් නැතිව. ඒ නිසා අපේ සෞඛ්‍ය විස්තර දෙන එකගැන බයවෙන්න දෙයක් නෑ.

අපි ඉන්න නගරෙම තිබුනත් ගොඩක් දුර පයින් යන්න ඕනෙ ක්ලිනික් එකට. ඒ නිසා අපිට ඔය ගමන යන්නම වාහන කට්ටක් ගන්නත් වුනා.  ඔන්න ඔහොමයි අපි ඇමරිකාවෙ ක්ලිනික් ගියෙ.

අවුරුදු දහතුනේ උපාධි අපේක්ෂකයා

දහතුන් හැවිරිදි කොලින් කාල්සන් (Colin Carlson) ඇමරිකාවේ කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ (University of Connecticut) පරිසර විද්‍යාව  හා පරිණාමී ජීව විද්‍යාව (Ecology & Evolutionary biology) සහ පාරිසරික අධ්‍යයනය (Environmental studies) යන ද්විත්ව උපාධි (double major) හදාරන දෙවන වසරේ සිසුවෙක්. වයසින් අඩු බැවින් දකුණු අප්‍රිකාවේ ක්ෂේත්‍ර වැඩ කළයුතු  පාඨමාලාවක් හැදෑරීමට විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඔහුට ඉඩ නොදීම මාධ්‍යවල වාර්තා වුනා.

වයස අවුරුදු 2-3 සිටම කියවීමට හුරු වූ කොලින්, පාසලේ ශ්‍රේණි දෙකක්ම මඟහැර ඉහළ ශ්‍රේණියකට සමත් වී තිබෙනවා. වයස අවුරුදු 9 දී කනෙක්ටිකට් විශ්වද්‍යාලයේ මනෝවිද්‍යාව, ඉතිහාසය ආදී පාඨමාලා හැදෑරීම ආරම්භ කළ ඔහු ස්ටැන්ෆඩ් විශ්වවිද්‍යාලයේ (Stanford University) අන්තර්ජාල උසස් පාසැලෙන් (Online high school) උසස්පෙළ ඩිප්ලෝමාව (High school diploma) ලබාගන්නා විට වයස අවුරුදු 11 ක්. ඉන්පසු පූර්ණකාලීන සිසුවෙක් ලෙස කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිවූ කොලින් 3.9/4.0 ක ඉතා හොඳ ලකුණු සාමාන්‍යයක් (Grade point average) රඳවාගෙන තිබෙනවා.

කොලින් මූලික උපාධිය සම්පූර්ණකිරීමෙන් අනතුරුව, වයස අවුරුදු 22 වනවිට පරිසර විද්‍යාව හා පරිණාමී ජීව විද්‍යාවෙන් ආචාර්ය උපාධියක්ද, පාරිසරික නීති (Environmental law) උපාධියක්ද ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ සංරක්ෂණ විද්‍යාව (Conservation science) තම වෘත්තිය කරගැනීමේ අරමුණින්.

කැස්බෑ විශේෂයක (common snapping turtle) හැසිරීම සම්බන්ධයෙන් කොලින් මේ වනවිටත් පර්යේෂණ ලිපියක් පළකර තිබෙනවා.

වයස අවුරුදු දහතුනේ දරුවෙක් වුවද කොලින් විශිෂ්ඨ සිසුවෙක් පමණක් නොව තමන්ගේ වෘත්තිය පිළිබඳව පැහැදිලි දැක්මක් ඇත්තෙක් වීම ගැන ඔහුගේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මවිතය පළ කරනවා. ඉහළ බුද්ධිමය හැකියාව සහ ආත්ම විශ්වාසය කොලින්ගේ වයසට අනුව අසාමාන්‍ය බව ඔවුන් පවසනවා.

විශ්වවිද්‍යාලයෙන් පාඨමාලාව හැදෑරීමට නොදීම නිසා තමන්ගේ කාලය අපතේ යනබව කොලින් පවසනවා. අවුරුදු හතරෙන් උපාධි දෙකම සම්පූර්ණ කිරීමේ සැලසුමට මේ නිසා බාධාවී ඇතැයි ඔහු පවසනවා. කොලින් සහ ඔහුගේ මව විශ්වවිද්‍යාලයේ තීරණයට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකර තිබෙන අතර විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් පවසන්නේ වෙනත් ස්ථානයකට යාමේදී සිසුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දියයුතු බවයි. කොලින්ගේ මව ඇයගේ වියදමින් ඔහුගේ ආරක්ෂාව සඳහා දකුණු අප්‍රිකාවට පැමිණීමට සූදානම්වුවත් පාලනාධිකාරිය කොලින් හට පාඨමාලාවට ලියාපදිංචිවීමට ඉඩ දී නෑ.

කෙසේ වෙතත් ඇමරිකාවේ ජාතික විද්‍යා පදනමේ (National Science Foundation) අනුග්‍රහයෙන් දකුණු අප්‍රිකාව බලායන පර්යේෂණ කණ්ඩායමකට ඇතුලත්වීමට කොලින් සමත්වෙලා. එම පර්යේෂණ ගමන සහ සම්මන්ත්‍රණයක් කළහොත් ඔහුට ලියාපදිංචිවීමට නොදුන් පාඨමාලාවේ අවශ්‍යතා සම්පූර්ණවන බවට විශ්වවිද්‍යාලයෙන් සහතික වියහැකිනම් සෑහීමට පත්වෙන බව කොලින් හා ඔහුගේ මව පවසනවා. තමන් පාලනාධිකාරිය සමඟ ගැටුම් ඇතිකරගැනීමට අකමැති නමුත් ඒ හැර විකල්පයක් නැති බවයි කොලින් පවසන්නේ. බාධක හමුවේ පසුබැසීමට අකමැති බව කොලින් පවසනවා.

කොලින් ගැන විස්තර කියවන්න මෙතනින්.

http://hydrodictyon.eeb.uconn.edu/eebedia/index.php/Colin_Carlson

ලංකාවෙ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න අවම වයස 18 වෙන්න ඕනෙ මම දන්න විදියට නම්. බාහිර උපාධි වලටනම් වයස 17 සම්පූර්ණ කරලා තියෙන්නෙ ඕනෙ. අපේ රටේ සා.පෙ., උ.පෙ. කරලා විශ්වවිද්‍යාලවලට යන්නෙ වෙන රටවල අය උපාධිය ඉවරකරලා එලියට බහින වයසෙදියි. කාට කියන්නද?

ආශ්‍රිත ලිපි.

http://news.yahoo.com/s/ap/20100325/ap_on_re_us/us_prodigy_study_abroad