රජවරු පෙරලීම

ඔන්න එකමත් එක කාලෙක රජෙක් හිටියා. මේ රජා හරිම නපුරු පාලකයෙක්. තමන්ගෙ මාළිගාවට වෙලා ඉන්න මේ රජාට රට වැසියො හැමෝම හරිම බයයි. රජා කෝප වුනොත් මහා විනාශයක් වෙයි කියන බය තමා හැමෝටම තිබ්බෙ. තමන්ගෙ රාජධානියෙ වැසියන් හම්බු කරන හැම දේකින්ම කප්පම් අරගෙන තමා මේ රජා ජීවත් වුනෙ.

මේ රටේ වැසියොත් එක්ක වෙනත් රටක අය හරිම තරහයි. ඒ රටවල් දෙකේ වැසියො නිතරම යුද්ධ කර කර තමා හිටියෙ. එක දවසක් අනිත් රටේ වැසියෙක්, නපුරු රජාගෙ රටේ බොහොම ප්‍රබල කෙනෙක්ව අල්ලගත්තා. ඒ කපටි වැඩකින් අර ප්‍රබලයව දුර්වල කරලයි. ඉතින් මෙ ප්‍රබලයට මොකුත් කරගන්න බැරිව ඉන්නකොට ටිකෙන් ටික එයාව මුල් තත්වයට ගේන්න අර අල්ලගත්ත කෙනා උදව් කළා. ඒ නිසා ඒ ප්‍රබල කෙනා, අර අල්ලගත්ත කෙනත් එක්ක යාළු වුනා.

ඊට පස්සෙ අර ප්‍රබලයගෙ උදව්වෙන් නපුරු රජා ගැන විස්තර දැනගත්ත අනිත් රටේ අය, නපුරු රජාව මරා දාන්න සැලසුම් කළා. මුලින් හමුදාවක් යවල නපුරු රජාව මරන්න උත්සාහ ගත්තට වැඩක් වුනෙ නෑ. ඒකෙන් වුනෙ නපුරු රජා කෝප වුන එක විතරයි.

ඊලඟට ඒ අය නපුරු රජාගෙ රටේම වැසියො ටිකක් ඉත්තො විදියට යොදාගෙන, නපුරු රජාව මරන්න උත්සාහ ගත්තා. අර ප්‍රබලයව පාවිච්චි කරලා, නපුරු රජාව මරා දාන්න අනිත් රටේ අයට පුළුවන් වුනා.

අන්තිමට අනිත් රටේ අය, නපුරු රජාගෙ රට වැසියන්ව හුරතලුන් (?) විදියට තියාගෙන ඒ අයගෙන් වැඩ ගත්තලු.

මේ කිව්වෙ සුරංගනා කථා පොතක තියන කථාවක් නෙවේ. මෑතකදි ඊජිප්තුවෙ වුන දේවත්, ලිබියාවෙ වෙමින් පවතින දේවත් නෙවෙයි. ලංකාවෙ ඉස්සරහට වෙන්න නියමිත දේත් නෙවෙයි. How to train your dragon (ඔබේ මකරා පුහුණු කරන්නේ කොහොමද) කියන හොලිවුඩ් චිත්‍රපටියෙ කථාවයි.

“කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ” කියන්නෙ මේවටද මන්දා?

ගෑණිට බය යකා

ඔන්න එකෝමත් එක රටක ගෑණු කෙනෙකුයි, මිනිහෙකුයි හිටියලු. මේ දෙන්නට පුතෙකුත් හිටියලු. ඒ ගොල්ලන්ගෙ ගේ ඉස්සරහ මුරුංග ගහක් තිබුනලු. එක යකෙක් ඇවිත් මේ මුරුංග ගහේ හත් අවුරුද්දක් තිස්සෙ හැංගිලා ඉන්නවලු ඒ ගෙදර ගෑණු කෙනාට වැහෙන්න හිතාගෙන.

එක දවසක්දා ඒ තාත්තයි, පුතයි ගමනක් ගියාලු. එදා ඒ ගෑණු කෙනා කැපෙන්නෙ නැතිව පැත්තකට දාලා තිබ්බ වක් පිහියක් අරන් මුවත් තිබ්බලු. ඒ වක් පිහියෙ මුවාත බල-බලා ගෙදරට යන ගමන් මුරුංග ගහ දිහා බලල ඒ ගෑණු කෙනා කිව්වලු “මේ වක් පිහියෙන් දැන් නම් යකෙක් වුනත් කපන්න පුළුවන් කියලා.” අර යකා ඒ කථාව ඇහිලා හොඳටම බය වුනාලු. ඒ ගෑණු කෙනා ගෙදරට ගිහින් එලවළු කපන අතරෙ අර යකා මුරුංග ගහෙන් හෙමීට බැහැල පස්සවත් නොබලා දුවන්න ගත්තලු.

යකා ඔහොම යනකොට ඒ ගෙදර තාත්තයි, පුතයි දෙන්න ආපහු ගෙදර එනවා මුණු ගැහුනලු.  බයේ ගැහි ගැහි යකා අර දෙන්නට කීවලු “මේ ඇත්තො කොයි ගියාද? මම ඔහේලගෙ මුරුංග ගහේ තමා හත් අවුරුද්දක් තිස්සෙ හිටියෙ ඒ ගෑණිට වැහෙන්න බලාගෙන. ඒ අම්මණ්ඩි අද වක් පිහියක් මුවත් තියලා මා දිහා බලාගෙන ඉන්න ගමක් කීවෙ නැතෑ “මේ වක් පිහියෙන් යකෙක් වුනත් කපන්න පුළුවන්” කියලා. ඒක ඇහිලා මම යන ගමන් තමා මේ. ඔහේලත් යන්න එපා ගෙදර පැත්ත පලාතෙවත්. අර ගෑණි ඔහේලවත් කපල දායි. ” කියලා.

“ඉතින් තමුසෙ අපිට මොනවා කරන්නද කියන්නෙ” කියලා ඒ මනුස්සය ඇහුවලු. “ඔහේල දෙන්න මාත් එක්ක එනවා. මම ජීවත් වෙන්න විදියක් කියල දන්නම්” කියලා යකා කිව්වලු. “ඒ කොහොමද?” කියලා තාත්තයි, පුතයි ඇහුවහම යකා කිව්වලු, “මම දැන් ගිහින් අහවල් ගමේ, අහවල් ගෙදර අහවල් ගෑණු කෙනාට වැහනවා. තමුසෙලා දෙන්න යකැදුරෝ කියල ඒ ගෙදරට එනවා. ඇවිත් මතුරලා මට යන්න කිව්වහම මම යන්නම්. එතකොට ඒ ගෙදර ඇත්තො ඔහේල ඇත්ත යකැදුරෝ කියලා පඬුරු පූජ කරයි. ඊට පස්සෙ මම ගිහින් තවත් ගෑණු කෙනෙකුට වැහෙනවා. තමුසෙල ඇවිත් ආයෙත් මාව එලවලා පඬුරු ගන්නවා. ඊට පස්සෙ තව කෙනෙකුට… ඒ විදියට තමුසෙලා පඬුරු එකතු කරගෙන ඇති වුනාම මාව එලවන්න එන්න එපා” කියලා.

එහෙම කියලා යකා ගිහින් අර කිව්ව විදියටම ගෑණු කෙනෙකුට වැහුනලු. ඊට පස්සෙ අර තාත්තයි, පුතයි ඒ ගෙදරට යකැදුරෝ වගේ ගිහින් යකා එලෙව්වලු. එදා ඉඳලා මේ අලුත් යකැදුරෝ දෙන්න ගැන කටින් කට ආරන්චි වුනාලු. ඒ ගෙදර අය යකැදුරන්ට පඬුරු ගොඩකුත් දුන්නලු.

ඊලඟට යකා තවත් ගෑණු කෙනෙකුට වැහුනලු. ඒ පාරත් යකාව එලවලා තාත්තයි පුතයි පඬුරු ගත්තලු. මේ විදියට ගොඩක් කල් යකාව එලව-එලව මේ යකැදුරෝ දෙන්නා පඬුරු ගොඩක් එකතුකර ගත්තලු. එතකොට යකා ඇවිල්ල ඇහුවලු “දැන් පඬුරු ඇති නේද?” කියලා. අර දෙන්න කිව්වලු “දැන් නම් ඇති” කියලා.

ඒ පාර යකා කිව්වලු “එහෙනං මම ගිහින් අහවල් රටේ, අහවල් රැජිණට වැහෙනවා. ඊට පස්සෙ මම ඒ ශරීරෙ දාල යන්නෙ නෑ. ඔහේල එන්නෙ එහෙම නෑ මාව එලවන්න” කියලා. එහෙම කියලා යකා ගිහින් අර රැජිණට වැහුනලු. යකැදුරෝ විදියට ප්‍රසිද්ධ වෙච්ච තාත්තයි පුතයි ඔක්කොම පඬුරුත් අරන් ගෙදර ගියාලු.

ඒ දෙන්න ගෙදර යනකොට රජතුමාගෙන් පයිණ්ඩයක් ඇවිත් තියනවලු “වහාම රජ මාළිගයට පැමිණ රැජිණව යක්ෂ ග්‍රහණයෙන් මුදාගනු” කියලා. යකා රැජිණ දාල යන්නෙ නෑ කිව්ව නිසා මේ තාත්තයි පුතයි යකැදුරෝ දෙන්න රජ මාළිගෙට යන්නෙ නැතුව ගෙදර හිටියලු.

ඒ පාර රජතුමා ගෙදරට පයිණ්ඩයක් එව්වලු  “වහාම පැමිණියේ නැත්නම් හිස ගසා දැමමි.” කියලා. යකාගෙන් බේරුනත් රජාගෙන් නම් බේරෙන්න බැරිබව තේරුණ නිසා තාත්තයි, පුතයි රජ මාළිගෙට ගියාලු.

මේ දෙන්නා රජ ගෙදරට ගිහින් දන්න කියන ඔක්කොම මන්තර මැතිරුවත් යකා යන්න ගියෙ නෑලු. යකාටත් හොඳටම තරහ ගියාලු එන්න එපා කිව්වත් මේ තාත්තයි පුතයි රජ ගෙදරට ආපු එක ගැන. ඒ නිසා යකා තමන් වැහිල ඉන්න රැජිණව පිස්සුවෙන් හැමතැනම දිවෙව්වලු. ඊට පස්සෙ යකා රැජිණගෙ අතට මෝල් ගහක් දීලා ඒකෙන් ගහලා යකැදුරො දෙන්නව මරවන්න හැදුවලු. රැජිණ මේ දෙන්නට ගහන්න මෝල්ගහ උස්සනකොටම පුතා “අප්පච්චි, අර බලාපංකො අපේ අම්මණ්ඩි” කියල කිව්වලු.

ඒක ඇහිච්ච ගමන් යකා හොඳටම බය වෙලා රැජිණවත් උඩුබැලි අතට පෙරලගන හූ කියාගෙන යන්න ගියාලු. ඊට පස්සෙ රැජිණට සිහිය ආවලු. රජතුමත් සතුටු වෙලා ඒ තාත්තටයි, පුතාටයි ඇතෙක් බරට වස්තුව දුන්නලු. යකත් ඒ ගෑණු කෙනාට වැහෙන්න ආවෙ නෑලු. ඊට පස්සෙ ඒ පවුලෙ අය සතුටින් ජීවත් වුනාලු.

එච්චරයි.

වයඹ පලාතේ ජනකතාවක්.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.