බබාට නමක් 2

අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ.

එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි  දැම්ම කියමුකො. ඊලඟ බබාටත් නමක් හොයන්න වෙන එක ඊටත් වඩා අමාරු කාරණයක් බව තේරුණෙ කරන්න යනකොට තමා.

ඇයි අමාරු? තේරුමක් නොතියෙන්නත් ඕනෙ; අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්නත් ඕනෙ; ඒ මදිවට අයියගෙ නම වගේ වෙන්නත් ඕනෙ කියලා අපි තීරණය කළානෙ. අනිත් එක මේ පාර කෙල්ලෙක්! කෙල්ලෙක්ගෙ නමක් වෙන්නත් ඕනෙ. ලේසි නෑ! ඒ මදිවට එකෙක් එක්ක වැඩපල කරගන්නෙ බොහොම අමාරුවෙන්, තව නමුත් හොයන්නම තමා වෙලාව තියෙන්නෙ.  එහෙමයි කියලා දරුවට නමක් නොදා පුළුවන්යෑ.

ඔන්න ඉතින් මේ පාර ලංකාවෙන් නම් ටිකක් ආනයනය කරලා නමක් හදාගන්න බැලුවා. මොන, ඒ නම් කිව්වහම හක්ක පනිනවා. ලොකු එකාට දාල තියන නම මෙහෙ ඉන්න සුද්දො කියන්නෙත් වරද්දලා. කොහොමත් වාසගමනම් රුවිත කරලා තමා කියන්නෙ. ආනයනය කළ නම් දැම්මොත් සුද්දො කියන්නෙ මුල අකුර විතරයි ෂුවර් එකටම. ඒ නම් ටික එහෙම්මම පැත්තකට දැම්මා.

මගෙ ඔළුවට ඇවිත් තිබ්බෙ අයියගෙ නමේ අකුරු ටික එහෙට මෙහෙට දාලා නමක් හදලා බලන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවනකොට මෙන්න නමක් සෙට් වුනා. අයියගෙ මැද නම කෙල්ලෙකුට ගැලපෙන විදියට වෙනස් කළා. ඔන්න දැන් කෙලි පොඩ්ඩෙකුට හරියන්න නමක් තියනවා. ඒත් ඉතින් මේ නම බැකප් එකක් විදියට තියාගෙන ඊට වඩා හොඳ නමක් ලැබුනොත් දානවා කියලා හිතන් හිටියෙ. ඒත් හරියන නමක් ලැබුනෙ නෑ. ඒ මදිවට මේ කෙල්ලට ඉක්මනට ලෝකෙ බලන්න එන්න ඕනෙ වුනානෙ. ඉතින් මක්ක කොරන්නද? අර බැකප් නම අනුමත කරලා නාමාරූඪ කළා.

අයියා “නදිත දිල්මික”. නංගි “තිනුදි දිලුනිකා”.

මේ ඉන්න කෙලි පොඩ්ඩ ඉපදිලා දවසකින්.
අයියයි නංගියි දැන් ටිකක් ලොකුයි.

නින්ද

එක් එක් පුද්ගලයා නින්දට යන්න පුරුදුවී තිබෙන්නේ වෙන වෙනස් වෙලාවට. ඒ වගේම එක් එක් පුද්ගලයා නිදාගන්නා කාලයත් වෙනස්. සමහරු දවසකට පැය 8 ක් නිදාගනිද්දි, තවත් සමහරු පැය 4 ක් නිදා ගන්නවා. ඇත්තටම නිදාගන්න හොඳම වෙලාව මොකක්ද? අපි කොපමණ කාලයක් නිදාගන්න ඕනෙද? නිදාගත්තෙ නැත්නම් මොකක්ද වෙන්නෙ?

මිනිසාගේ රුධිර පීඩනය, අභ්‍යන්තර ශරීර උෂ්ණත්වය, මොළයේ ක්‍රියාකාරීත්වය, හෝමෝන නිෂ්පාදනය, සෛල ප්‍රතිජනනය ආදී ශාරීරික ක්‍රියා බොහොමයක් පැය 24 ක් පමණ වන රිද්මයක්  වටා ක්‍රියාත්මක වෙනවා. මිනිසාගේ ජීව ඔරලෝසුව ලෙසද හඳුන්වන මෙය, සර්කේඩියානු රිද්මය ලෙස හඳුන්වනවා. මේ සර්කේඩියානු රිද්මය දළ වශයෙන් පහත පරිදියි.

සර්කේඩියානු රිද්මය

මේ රූපයෙන් පැහැදිලි වන දෙයක් තමා ශරීරයේ ක්‍රියාකාරීත්වය උපරිම වන්නේ දවල් 1 පමණ සිට රාත්‍රී 7 දක්වා බව සහ ශරීරයේ ක්‍රියාකාරකම් අවම වන්නේ රාත්‍රී 10 සහ උදේ 8 අතර බව. ශරීරයේ ක්‍රියාකාරකම් අවම කාලය වන රාත්‍රී 10 සහ උදේ 8 අතරතුර නින්ද ලබාගැනීම “ගුණාත්මක” නින්දක් ලෙස හැඳින්විය හැකියි. නින්ද ලබාගන්නා කාලයට (පැය ගණනට) වඩා, නින්ද ලබාගන්නා වෙලාවයි වැදගත්. දිවා කාලයේදී පැය 8 ක් නිදාගැනීමට වඩා, රාත්‍රී 10 න් පසු පැය 8 ක් නිදාගැනීම ගුණාත්මකයි.

කොපමණ වෙලාවක නින්දක් අවශ්‍යද යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒත් දිනපතාම අඩුවෙන් නිදාගත්තහම වෙන දේ පහත ප්‍රස්තාරයෙන් බලන්න. මේ ප්‍රස්තාරයෙන් පෙන්නන්නේ දිනකට නිදාගන්නා කාලය සීමා කිරීමෙන් යම්කිසි දෙයකට ප්‍රතිචාර දැක්වීමට යන කාලය වෙනස් වන හැටියි. (පුරුද්දෙන් කරන වැඩකදී මේ දත්ත වෙනස් වෙයි. මෙතැනදී ක්‍රියාක්‍රාරීත්වය මැන ඇත්තේ වෙන වෙනස් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වැඩක් සම්බන්ධයෙනුයි.)

නින්ද සීමා කිරීම සහ ක්‍රියාකාරීත්වය

දිනකට නිදාගන්නා කාලය පැය 8 කට වඩා අඩු වෙත්ම, ක්‍රියාකාරීත්වය පහල යනවා. මේකෙන් පැහැදිලි වෙනවා හොඳ ක්‍රියාකාරීත්වයේ ඉන්න නම් දිනකට පැය 7-9 අතර ප්‍රමාණයක් නිදාගත යුතු බව.  විභාගෙකට කලින් හොඳට නිදාගන්න කියන්නෙ ඒකයි.

නින්ද අඩු වුනාම වගේම නින්ද වැඩි උනාමත් ප්‍රශ්න. දවසකට පැය 10 කට වඩා නිදාගත්තොත් නින්ද වැඩි වීමෙන් මත් ගතියක් ඇති වෙන්න පුළුවන්.

සමහරු එක දිගට නිදි වරනවා දවස් ගාණක්ම. එතකොට වෙන දේ පහල තියන ප්‍රස්තාරෙන් බලාගන්නකෝ.

නිදි වැරීම සහ ක්‍රියාකාරීත්වය

මේ ප්‍රස්තාරයෙන් බොහොම පැහැදිලි ඇති එක දිගටම දවස් 2-3 ක් නිදි වරනකොට ක්‍රියාකාරීත්වය අඩු වෙන හැටි. සතියකට වඩා නිදි වැරීම මාරක වෙන්න පුළුවන්.

ප්‍රධාන නින්දට අමතරව, කෙටි නින්දවලුත් බොහොම ප්‍රයෝජනයි. විනාඩි 10 ක තරම් කෙටි නින්දකට පවා ශරීරය වගේම මනස ප්‍රකෘතිමත් කරන්න පුළුවන්. විනාඩි 30 කට අඩු කෙටි නින්දක් බොහොම ඵලදායක වුනාට, පැය 1-2 ක “කෙටි” නිදි එච්චර හොඳ නෑ. හේතුව තමා, ඒ වගේ නින්දකින් පස්සෙ අවදි වෙද්දි  අපේ මොළය නිසි ක්‍රියාකාරීත්වයට එන්න විනාඩි 5-20 ක් අතර කාලයක් ගතවීම. (ඇඟට නැතත් හිතට නිදිමත ගතිය දැනිලා ඇති පැය 1-2 දවල් නිදි දාන අය!). පැය 1-2 නින්දකින් පස්සෙ ඇහෙරෙනකොට, ප්‍රබෝධමත් ගතියකට වඩා, තවත් වෙහෙසකර ගතියක් දැනීම ස්වභාවිකයි.

ඔක්කොම කියවන්න කම්මැලි හිතුනා නම් මෙන්න සාරාංශය.

  • දවසකට පැය 5 ක වත් නින්දක් රාත්‍රී 10 සහ උදේ 8 අතර ලබාගන්න. 100% ක ක්‍රියාකාරීත්වයක් සඳහා දිනකට පැය 8 ක නින්දක් සාමාන්‍යයෙන් අවශ්‍යයි.
  • එක දිගටම නිදි වැරීම භයානකයි.
  • කෙටි නින්දක් (විනාඩි 30 ට අඩු) ලබාගැනීම ඵලදායකයි.

“නින්ද නැති රැයේ” බ්ලොග් ලියන්නෙ/කියවන්නෙ නැතිව, නිදාගන්න යන්න.

පිය සමර

ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් විය; කුඹුරු යායක් අස්වද්දනා ගොවියෙක් විය; ගමේ පන්සලේ, සමිති-සමාගම්වල ක්‍රියාකාරී සමාජ සේවකයෙක් විය; සමාජ ගුණධර්ම රකිනා ගැමියෙක් විය; ආදරණීය පියෙක් විය.

දරුවන් පස් දෙනෙක් අතරින් දෙවැනියා වූ ඔහු පාසල් අධ්‍යාපනය හමාර වූ විගස පුහුණු ගුරුවරයෙක් ලෙස සේවය කිරීම තෝරාගත්තේ බාල සහෝදර-සහෝදරියන්ගේ උසස් අධ්‍යාපනයට බරපැන දැරීමට තරම් සවිමත් ආර්ථිකයක් දෙමාපියන්ට නොතිබීම නිසාවෙනි. ගුරු වෘත්තියේ නියැලුනද, දුර බැහැර ප්‍රදේශවල සිට පවා හැකි සෑම විටෙකම ගෙදර ආවේ ගොවිතැන් කටයුතු කිරීමට දෙමාපියන්ට උදව් කිරීමටය. පවුලට හැකි පමණින් උදව් උපකාර කළ ඔහු දිවියේ තෙවන දශකය එළඹෙත්ම විවාහ දිවියට ඇතුළු විය.

ගුරුවරයෙක්ගේ වේතනයෙන් පමණක් පවුලක් නඩත්තු කිරීම අසීරුවූ යුගයක වුවද, වසර ගණනාවක ඇවෑමෙන් හොඳ නිවසක් තනාගැන්මට ඔහු සහ බිරිඳ ධෛර්යය සම්පන්න වූහ. දරු තිදෙනෙකුගේ පියෙක් වනවිට ඔහු ජීවිතයේ සිව්වන දශකයටද පා තබා තිබිණ.

ඔහුගේ බලාපොරොත්තුව වූයේ තම දරුවන් ලොකු-මහත් කර සැප-සම්පත් ලබාදීම නොව, ඔවුන් සමාජයේ වැඩක් ඇති අය කිරීමට ඔවුනට හැකි පමණ ඉගැන්වීමටය. පොත-පතේ අධ්‍යාපනය පමණක් නොව, ජීවිතයට අවශ්‍ය ගුරුහරුකම් ලබාදීමටද ඔහු අමතක නොකළේය. අවවාදයෙන් නොව ආදර්ශයෙන් ඔහු දරුවනට ජීවිතයේ පාඩම් ඉගැන්වූයේය; වචනයෙන් නොව ක්‍රියාවෙන් ගුරුහරුකම් ලබාදුන්නේය; මෙලෙස ජීවත් විය යුතුය කියා නොපවසා තම හැසිරීමෙන් ජීවත් විය යුතු ආකාරය කියා දුන්නේය.

වසරකට වරක් දරුවන් සමඟ විනෝද සවාරි යන්නට වත්කමක් නොතිබුනද, හැකි අයුරින් දරුවන්ට රට-තොට පෙන්වීමට උත්සාහ ගත්තේය. ඔහුට රට-තොට බලමින් විනෝද වීමට පමණක් නොව, ඒ ගැන විස්තර කරමින් දරුවන්ට යමක් කියාදීමටද හැකි විය. අවුරුදු කාලයට කාටත් කලින් කොස් අත්තක ඔංචිල්ලාවක් බැඳ දෙන්නේ ඔහුය. දරුවන් කැළේ-කොළේ සෙල්ලම් කරනාවිට තහංචි දැමීමට ඔහු උත්සුක නොවූයේ එයින්ද ඉගෙනීමට පාඩම් ඇති බව දත් නිසාවෙනි.

දරුවන්ගේ අධ්‍යාපනයට උදව්-උපකාර මිස බලපෑම් කිරීමට ඔහු ක්‍රියා නොකළේය. දරුවන් උසස්පෙළ හදාරන විෂය මාලාව ඔවුන්ටම තෝරා ගැනීමට හැකි තරම් ඔවුන්ව ස්වාධීන කළා මිස, එයට බලපෑම් කිරීමට ඔහු උත්සාහ ගත්තේ නැත. හොඳ-නරක තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම හැර වචනයෙන් හොඳ-නරක ගැන දේශනා දීමට ඔහු ක්‍රියා කළේ නැත.

සුරාවෙන්-සූදුවෙන් තොර වුවද, ඔහුගේ මුවේ බුලත් විටක් නම් නොතිබූ මොහොතක් නොමැති විය. නිවසට පැමිණෙන ඕනෑම අයෙකුට බුලත් හෙප්පුව පිරිනමමින් හෙතෙමද බුලත් විටකින් සප්පායම් වීමට අමතක නොකළේය. නිවසට පැමිණියෙක් බුලත් විටකින් හෝ තේ කෝප්පයකින් සංග්‍රහ නොලබා ගියේ කලාතුරකිනි. ගමේ රැඳී සිටි සීමිත කාලය තුල වුවද සමිති සමාගම් වල රාජකාරීවල නියුතු වූ ඔහු මුණගැසීමට ආවෝ-ගියෝ එමට වූහ. තම සාක්කුවෙන් පවා මුදල් වියදම් කරමින් සමිති සමාගම්වල රාජකාරිවල නියැලීම ඔහුගේ සිරිත විය.

නියුතු වූ දේශපාලනයක් නොවූවද, දැරූ දේශපාලන මතිමතාන්තර නිසාදෝ, ඔහුගේ ගුරු දිවියේ තිස් වසෙන් විස්සකට අධික කාලයක් නිවසින් දුර-බැහැර ප්‍රදේශ වල සේවය කිරීමට සිදු විය. පුහුණු උපගුරුවරයෙක් ලෙස ගුරු සේවයට එක්වූ ඔහු උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදිය සම්පූර්ණ කළද, තිස් වසරක සේවය අවසානයේ උපගුරුවරයෙක් ලෙසම විශ්‍රාම යන්නේ උසස්වීම් ලැබිය යුත්තාට නොලැබීම නිසාය. එසේ වුවද පසුගිය දේවල් ගැන නොතැවුනු ඔහු සතුටින් තම රාජකාරිය කළේ තම සිසු-සිසුවියන්ගේ යහපත ගැන සිතමිනි.  විශ්‍රාම යාමට නියමිත වයසටත් කලින් විශ්‍රාම යන්නේ දේශපාලන හෙංචයියෙකු යටතේ සේවය කිරීමට තිබූ අකමැත්ත නිසාවෙනි.

විශ්‍රාම යාමෙන් අනතුරුව අත් ට්‍රැක්ටරයක් මිලට ගෙන එය කුලියට දෙමින් ව්‍යාපාරයක් කිරීමට උත්සාහ ගත්තද, හිත හොඳ මිනිහාට වෙළඳාම් කිරීමට නොහැකි බව පසක් කරමින් එම උත්සාහය ව්‍යර්ථ වූයේ ආර්ථික අලාභයක්ද සමඟිනි. පූර්ණ කාලීන සමාජ සේවයට යොමුවෙන ඔහු ඉඳහිට පුද්ගලික උපකාරක පන්තියක් කළේ එයින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභයටත් වඩා ඉගැන්වීමෙන් ලැබෙන සතුට නිසාවෙනි.

අදින් දශක එකහමාරකට පෙරාතුව ඔහු හදිසි හෘදයාබාධයකින් මෙලොවින් සමුගත්තේය. ඒ මගේ ආදරණීය පියාණන්ය.

දරුවන්ගේ අධ්‍යාපනය ගැන වෙහෙසුනු ඔහු, ඔවුන් ඉන් ඵල නෙලාගන්නා අයුරු දකින්නට ජීවත් වූයේ නැත. තම දරුවන් විවාහ දිවියට එළඹෙනු දකිනු රිසිවූ ඔහුට ඒ වනතෙක් ජීවත්ව ඉන්නට ඉඩ ලැබුනේ නැත. ඔහු පැතූ ලොව උදාවී ඇති අයුරු දකින්නට ඔහු සිටියේ නැත.

තාත්තේ, ඔබ අනුස්මරණය කර පැවැත්වෙන පිංකම් වලට දායක වන්නට බැරි වුනද මම ඔබ සිහිකරමි.  ඔබට ඇති ආදරය, ගෞරවය වචනයෙන් පැවසූ දිනයක් මතක නැති වුනත්, ඔබ එය දැන සිටින්නට ඇතැයි සිතමි.   වචනයෙන් ඔබ නොදුන් ගුරුහරුකම් අදත් මම පිළිපදිමි.

දිල්ලියේ හුටපටේ

ලංකාවෙන් පිටත් වෙලා ලෝක පොලීසියට ආපු ගමනෙදි මගෙ මුල්ම සංක්‍රාන්තිය (transit) තිබුනෙ අල්ලපු රටේ දිල්ලියෙ.

සාමාන්‍යයෙන් ගමන ආරම්භයෙදි අපේ ගමන් මළු ඔක්කොම (අතේ ගෙනියන ඒවා හැර) ගුවන් සේවයට භාර දෙන්න ඕනෙ බව ගුවන් ගමන් ගිහින් තියන අය දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපිට අපේ ගමන් මළු ලැබෙන්නෙ ගමනාන්තයෙදි. (රටක් ඇතුලෙ ගුවන් ගමන් තියනවානම් ටිකක් වෙනස් වෙන්න පුළුවන්.) කොහොම හරි මගේ ගමන් මළු ටිකත් ඒ වගේ අවසන් ගුවන් තොටුපොලින් ගන්න පුළුවන් විදියට පරිගණක පද්ධතියට ඇතුල් කළා.

මමයි පුතයි

මම ඒ ගමන ආවෙ තනියෙන්ම නෙවෙයි. අවුරුද්දකට ටිකක් වැඩි පුංචි පුතත් එක්ක. දරුවෙක්ව අතේ වඩාගෙන යන්න අමාරු නිසා ළදරු කරත්තයක, තේරෙන භාෂාවෙන් කියනවා නම් ස්ට්‍රෝලර් (stroller) එකක දාගෙන තමා ගෙනිච්චෙ. මේ ස්ට්‍රෝලර් සාමාන්‍ය ගමන් මළු එක්ක භාර දෙන්නෙ නෑ. ගුවන් යානයට ගොඩවෙනකල්ම දරුවව ඒකෙ තියාගෙන ඉන්න ඉඩ දෙනවා. නැවතත් ඊලඟ ගුවන්තොටුපලේදි ගුවන් යානයේ දොරටුව ගාවටම ඒක ගෙනත් දෙනවා.

පළවෙනි පිස්සුව කෙළියෙ අපේ ජාතික ගුවන් සේවයෙන්. “මට හැම ගුවන් තොටුපලකදිම ස්ට්‍රෝලර් එක පාවිච්චි කරන්න  ඕනෙ” කියලා පැහැදිලිව කිව්වත්, ඒක අනෙත් ගමන් මළු එක්ක ගමනාන්තයටම යවන්න පරිගණක පද්ධතියට ඇතුල් කරලා මට හරිම උදව්වක් කරන්න අපේ අය අමතක කළෙ නෑ. (ගුවන් තොටුපලේ පෝලිම් වල තියන් ඉඳලා පරක්කු කරන එක අමතක කරමුකෝ.)

ගුවන් යානය දිල්ලියට ආව කියමුකො. මමත් ඉතින් පොඩි එකාවත් අරන් (ගුවන් යානයෙන්) එලියට බැහැලා බැලුවා කෝ මගෙ ස්ට්‍රෝලර් එක කියලා. පේන තෙක් මානෙකවත් නෑ. “කමක් නෑ, ඕක ලැබෙන්නෙ නැතෑ” කියල හිතාගෙන ගුවන් යානයෙ ඉඳන් ගුවන් තොටුපොලට ඇවිදගෙන එනකොට මෙන්න දොරටුව ගාව ඉන්නවා බෝඩ් ලෑලි එල්ලගෙන කීප දෙනෙක්. නෑ, නෑ.. හිඟන්නො නෙවෙයි. ඒ ගුවන් තොටුපොලේ සේවකයො. ඒ ගුවන් යානයෙ ආපු සමහර මඟීන්ගෙ නම් තමයි බෝඩ් ලෑලි වල ලියලා තිබුනෙ. බලනකොට මගෙ නමත් තියනවා.

මට බයත් හිතුනා මගෙ මල්ලක හොර බඩුවක්වත් තිබිල අහු වුනාද දන්නෙ නෑ කියලා. (එහෙම දෙයක් දැනුවත්ව නම් ගෙනාවෙ නෑ. ඒත් කියන්න බෑනෙ.) කොහොමහරි මමත් ඇතුළුව තව කීප දෙනෙක් එතැන නැවතුනා. මම එතැන හිටපු නිලධාරිණියකගෙන් ඇහුවා මගෙ ස්ට්‍රෝලර් එක ගැන. හරි උත්තරයක් දෙන්න එයාට පුළුවන් වුනෙ නෑ. ඒක මට ලැබෙන්න සලස්සන්නම් කියලා තමා කිව්වෙ.

ගුවන් ගමනකදි එක් ගුවන් යානයකින් තවත් එකකට මාරුවෙන්න තියනවානම්, ඒ ගුවන්තොටුපලේ තියෙන ඉලෙක්ට්‍රොනික් දැන්වීම් පුවරු වලින් අදාල පර්යන්තය (terminal) හොයාගෙන යන්න මහ අමාරුවක් නෑ. හොයාගන්න අමාරු නම් නිලධාරියෙක්ගෙන් ඇහුවාම හරි. ගුවන් සේවාව මාරු කරනවානම් සමහරවිට ගුවන් යානයට ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර  (boarding pass) ගන්න සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

ඒත් දිල්ලියෙදි අපිව වෙනම කාමරයක් වගේ ප්‍රදේශයකට එක්කගෙන ගියා. මොකටද කියලා කවුරුත් දන්නෙ නෑ. අපිට එතන ඉන්න කිව්වා, තවත් නිලධාරියෙක් ඇවිත් කථා කරයි කියලා. වෙන කරන්න දෙයක් නැති කමට එතනට වෙලා හිටියා. පැය භාගෙකට විතර පස්සෙ මෙන්න වෙනත් නිලධාරියෙක් ඇවිත් මාත් ඇතුළුව එතන හිටපු මඟීන්ගෙන් කීපදෙනෙක්ගෙ නම් කථා කරලා එයත් එක්ක එන්න කිව්වා. අපිත් ඉතින් අර මාංචු දාපු හිරකාරයො වගේ පෝලිමට ඒ නිලධාරියා පස්සෙන් වැටිලා ගියා.

අවතැන්වූ මඟීන්

අපිව එක්කගෙන ගියෙ පර්යන්තයක ප්‍රවේශ ශාලාවකට. ඒ කියන්නෙ ආගමන/විගමන කවුළු සහ ගුවන් යානයට ගොඩවෙන ගේට්ටු අතර ප්‍රදේශයකට. මේ ප්‍රදේශයේ අපි වගේම තවත් කීපදෙනෙක් රඳවල තිබුනා. මේ ප්‍රදේශයේ ඉඳගන්න පුටුවක්වත් නෑ. ටිකක් වෙලා ඉන්නකොට තමා තේරුනේ අපිට ඊලඟ ගුවන්යානයට ගොඩවෙනකම් මෙතැන රැඳිල ඉන්න වෙනවා කියලා.

මගෙ ස්ට්‍රෝලර් එකත් ලැබිල තිබුනෙ නෑ. පුංචි පුතා හිටියෙ මගෙ අතේ. එයාව බිමින් තියන්න බෑ, එයා එහෙ මෙහෙ දුවනවා, හොඳටම නිදිමතේ. නිදිකරවන්න විදියක්වත් නෑ. ඒ මදිවට එයාට වගේම මටත් බඩගිනියි. දරුවට කෑම කවන්න තියා කිරි පොවන්නවත් විදියක් නෑ, ඉඳගන්නවත් නැති නිසා. මාත් එක්කම ලංකාවෙ ඉඳන් ආපු සොහොයුරෙක් මට උදව් කලා, මගෙ ගමන් මළු එහෙම පරිස්සම් කරමින්. දිල්ලි ගුවන්තොටුපලේ නිලධාරීන් විටින් විට කට්ටියව එක්කරගෙන ඇවිත් එතන තියලා යනවා.

මෙන්න බොලේ මළු

මේ අතරෙ ගමන් මළු තොගයක් අරගෙන ඇවිත් අපි ඉස්සරහින් තිබ්බා. බලනකොට ඒ අපි යන්න ඉන්න ගුවන් යානයේ මඟීන්ගෙ ගමන් මළු. වෙනත් ගුවන්තොටුපලකින් දිල්ලියට එන මඟීන්ගෙ ගමන් මළු ස්වයංක්‍රීය වාහක පද්ධතිය (automated conveyor system) මතින් ගුවන් යානයට යවනවා වෙනුවට, ඒවා මඟීන් සිටින ප්‍රදේශයට ගෙන ඒම මම කලින් දැකල නෑ. (ඒක ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද කියල මට හිතුනා.) විටින් විට මේ විදියට ගෙනාපු මළු අතරෙ මගෙ ගමන් මළුත්, දරුවගෙ ස්ට්‍රෝලරයත් තියනවා දැක්කා.

එතැන හිටපු නිලධාරියෙකුට මම කිව්වා “මේ තියෙන්නෙ මගෙ ස්ට්‍රෝලරය. ඒක මට අවශ්‍යයි” කියලා. නමුත් ඔහු ඒක දෙන්න කැමති වුනෙ නෑ, ඒක කෙලින්ම ගමනාන්තයට යවන්න සටහන් කර තිබූ නිසා. (කටුනායකදි අපේ රටේ උදවිය කළ හපන්කම තමා ඒ!) මම ඔහුට තේරුම් කර දුන්නා වැරදීමකින් ඒ අය එලෙස සටහන් කර ඇති බව සහ ස්ට්‍රෝලරය ආරක්ෂාවට බාධාවක් නැති බව. (ගමන් මල්ලක් විවෘත කරනවා වගේ නොවන බව.) ඒ නිලධාරියා පමණක් නොවෙයි, ඉන් පසු වරින් වර ආ නිලධාරීන් කීපදෙනෙක්ම මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ උසස් නිලධාරීන්ගෙන් ඇසිය යුතු බව කියලා මාරු වෙන්න ඒ අය හරිම දක්ෂයි. කොහොමහරි පැය 2 කට විතර පස්සෙ, ඒ අය සමඟ කළ අරගලය නිමා වුනෙ, සුදු හමකට ඔවුන් යටත් වීම නිසයි. මගේ ප්‍රශ්නය කීප වතාවක්ම දැක්ක ඇමරිකන් ජාතිකයෙක්, ඒ නිලධාරීන්ට ‘සුද්දගෙ ඉංග්‍රීසියෙන්ම’ කථාකළ නිසාදෝ, මට ආපහු ස්ට්‍රෝලරය ලැබුනා.

ස්ටිකර් අලවමු

මේ අතරතුර, එතන සිටි මඟීන්ට ඔවුන්ගේ ගමන් මළු අඳුනගන්න සිද්ධ වුනා. ඒ, ඒවායේ තිබූ පරිගණක දත්ත සහිත ස්ටිකරය ඉවත් කොට, අලුත් ස්ටිකර් ඇලවීම සඳහායි. මුල් ගුවන් තොටුපලෙන් ගමන් මළු වලට අලවන ස්ටිකරය, පරිගණකගත පද්ධතියකින් කියවා, ස්වයංක්‍රීය වාහක මඟින් අදාල ගුවන් යානයට යොමු කිරීම වෙනුවට, දිල්ලියේදී කළ දේ ඉන්දියාවට පමණක් ආවේණික දෙයක්ද කියලත් මට හිතුනා.

විටින් විට පැමිණි නිලධාරීන්ට අපේ ගමන් බලපත්‍ර ලබාදෙන්න සිද්ධ වුනා. නරකම දෙය තමා, ඔවුන්ට ඒවා රැගෙන යන්න දෙන්න වීම. ගමන් බලපත්‍රයක් තමන්ගෙ දෑසට පෙනෙන සීමාවෙන් එහාට නොයන්න වගබලාගන්න කියලා කිව්වත්, දිල්ලියට ගියාම ගමන් බලපත්‍රය ඉල්ලන ඕනෙම කෙනෙක් අතට දෙන්න මඟීන්ට සිද්ධ වුනා. වවුලගෙ ගෙදරට ගියානම් එල්ලිලා හිටපිය කිව්වලු!

ගුවන් යානයකට ගොඩවීමට පෙර, ගමනාන්තයට යාමට හේතුව, ආරක්ෂාවට අදාල කාරණා ආදිය ඇසීම සාමාන්‍ය කරුණක්. ගුවන් යානයට ගොඩවන ගේට්ටුව අබියස කවුන්ටරයක සිටින නිලධාරියෙක් අබියසට අදාළ ලියකියවිලි සමඟ ගියවිට, ඒ ප්‍රශ්න කිරීම විනාඩියකටත් අඩු කාලයකදී නිම වෙනවා, ඔවුනට සැක හිතෙන යමක් නොවුනොත්. නමුත් දිල්ලියෙදි වුනෙ අමුතුම සිද්ධියක්.

අපි තැන තැන හිටගෙන ඉන්න අතරෙදි, නිලධාරීන් එනවා අපි ගාවට. ඇවිත් පොඩ්ඩක් පැත්තකට එක්කරගෙන යනවා. (රහසක් කියන්න වගේ. එහෙම නැත්නම් මදාවියෙක් බය කරලා සල්ලි ඉල්ලගන්න යනවා වගේ.) ඇමරිකාවට ඇතුල් වෙද්දි ඒ රටේ ආගමන නිලධාරියෙක් අපෙන් අහන ප්‍රශ්න වලටත් වඩා, ඉන්දියාවෙ ඉන්න මේ නිලධාරියා අපෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීමට විනාඩි 5 ක්වත් ගත වෙනවා. මට උදවු කළ ලංකාවෙ සොහොයුරාට ඔහුගෙ උපාධි නිබන්ධනයත් පෙන්නන්න වුනා ඒ නිලධාරියාට!

මගෙ ගුවන් ගමන් දෙක අතරතුර පැය හතරක අධික කාලයක් තිබුනා. මම හිතාගෙන හිටියෙ පුතාට කවලා, නිදි කරවන්න. ඒත් ඒ පැය 4 ක කාලයම වගේ අපි හිටියෙ හිටගෙන. ඉතින් කොහෙ කන්නද? නිදාගන්නද? වතුර ටිකක් බීලා, දරුවගෙ යට ඇඳුම් මාරු කරගෙන එන්න මම ගිය අවස්ථාවකදි, ගමන් බලපත්‍ර එකතු කරගෙන ගිය නිලධාරියෙක් මාව සොයා තිබුනා. මම  ආවහම, “මගෙන් අහන්නෙ නැතුව මෙතැනින් යන්න එපා” කියලා හරිම කාරුණික විදියට ගෝරනාඩු කරන්න ඒ නිලධාරියා ආචාරශීලී වුනා.

කොහොමහරි, දිල්ලියටම (හෝ ඉන්දියාවට) ආවේණික ඒ වැඩ ටික ඉවර වෙද්දි, ගුවන් යානය පිටත් වෙන්න තියන වෙලාවට ඉතුරු වෙලා තියෙන්නෙ පැය භාගයකට ආසන්න කාලයක්. එච්චර වෙලා තැන තැන කැරකි කැරකි කථා-බහ කරමින් හිටිය නිලධාරීන්ට අන්න එතකොට තමා ගිනි කසයො වගේ වැඩ කරන්න මතක් වුනෙ.

ගුවන් යානයට ගොඩවීමට පෙර සාමාන්‍යයෙන් කරන පරීක්ෂා එකක් වෙනුවට, ‘දිල්ලි ස්පෙෂල්’ පරීක්ෂා දෙකක්ම කෙරුවා ලෝභ නැතුව. ගමන් මළු X කිරණ පරීක්ෂාවට ලක් කිරීමට අමතරව ගමන් මළු ඇරලා බැලීම වගේ ‘එක්ස්ට්‍රා ස්පෙෂල්’ ආරක්ෂක උපක්‍රමත් දිල්ලි නිලධාරීන් මහන්සි නොබලාම කළා. කොහොම හරි ගුවන් යානය පිටත් වුනේ නියමිත වෙලාවට විනාඩි 20 ක් විතර ප්‍රමාද වෙලයි.

දිල්ලි ගුවන්තොටුපලේ සංක්‍රමණික මඟීන් වුන අපි පැය ගණනාවක් හිටගෙන අනාථයො වගේ ඉන්නකොට, දිල්ලියෙන් ආපු මඟීන් සාමාන්‍ය පරීක්ෂාවලට පස්සෙ, (දූවිලි පිරිණු පොළොවට වඩා) හොඳ සැප-පහසු පර්යන්තයේ රැඳී සිටීමේ ප්‍රදේශවල ඉඳගෙන, කෑම-බීම ගනිමින්, වැසිකිලි අවශ්‍ය පරිදි පාවිච්චි කරමින්, අවශ්‍ය නම් පොඩි නින්දක් ලබමින් වෙහෙස නිවාගෙන ඉන්න වාසනාවන්ත වුනා. ඒවා පෙනෙන සීමාවේ, කිසිම පහසුකමක් නැතිව අපිව රඳවලා තිබ්බෙ ඇයිද කියන එක මට තාමත් ප්‍රශ්නයක්.

මගේ අත්දැකීමට වඩා හාත්පසින්ම වෙනත් අත්දැකීම් ලබපු අය ඉන්න පුළුවන්. ඒත්, ඉන්දියාවෙ අගනගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙනත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලබාදෙන සේවාවක් ලබාදෙන්න අසමත් වුන බව මගේ අන්තිම තීරණයයි. මේ නිසා නැවතත් දිල්ලිය පමණක් නොව, වෙනත් කිසිම ඉන්දියානු ගුවන් තොටුපොලක් මගේ ගුවන් ගමනකදි සංක්‍රාන්තියක් ලෙස තෝරා නොගන්න මම තීරණය කළා. ඔබත් දිල්ලිය හෝ වෙනත් ඉන්දීය ගුවන්තොටුපලක් හරහා ගුවන් ගමනක් යන්න තීරණය කළොත්, දෙවරක් සිතන්න.

දෙසැම්බර් 5 ද මැයි 12 ද?

ඇමරිකාවෙ ඉඳන් ලංකාවට එද්දි මගෙ ගමන් බලපත්‍රයෙ කල් ඉකුත්වීමේ දිනය නිසා වෙන්න ගිය ඇබැද්දියක් තිබුනා කියලා කලින් කිව්වනෙ. ඒක අනුරාධ රත්නවීරසිද්ද වෙන්න ගියා වගේ වලංගු කාලය දිගු කළ පිටුව නොබලා කල් ඉකුත් වෙලා කියලා කිව්ව සිද්ධියක් නම් නෙවෙයි.

මගෙ ගමන් බලපත්‍රය කල් ඉකුත් වෙන්න තිබුනෙ 2010 දෙසැම්බර් 5. ගුවන්තොටුපොලට ගියාම එතැන නිලධාරීන් ගමන් බලපත්‍රය අරන් පරීක්ෂා කරල බලනවනෙ. මගෙ ගමන් බලපත්‍රය අරන් පරීක්ෂා කරපු නිලධාරියා කිව්වා ‘මේකෙ කල් ඉකුත්වෙලා (අවලංගුයි)’ කියලා. (සිංහලෙන් නෙවෙයි කිව්වෙ.) එහෙම කියලා ඔහු ඉහල නිලධාරිණියවත් එතැනට ගෙන්න ගත්තා.

ඔහු එහෙම කියන්න හේතුව තමා ගමන් බලපත්‍රයෙ අවලංගු වෙන දිනය විදියට සඳහන් වෙලා තිබ්බෙ 05/12/2010 කියල නිසා. ඇමරිකාවෙ දිනය ලියන්නෙ ලංකාවෙ ලියනවා වගේ දිනය/මාසය/අවුරුද්ද පිලිවෙලට නෙවෙයි, මාසය/දිනය/අවුරුද්ද පිලිවෙලට නිසයි. ඒ නිලධාරියා මගෙ ගමන් බලපත්‍රයෙ කල් ඉකුත් වෙන දිනය විදියට තේරුම් අරන් තිබුනෙ දෙසැම්බර් 5 නෙවෙයි, මැයි 12 කියලයි. (මම ආවෙ ජුනි මාසෙනෙ.)

මම ඕක තේරුම් කරන්න උත්සාහ ගනිද්දි තවත් නිලධාරියෙක් ‘අපිට මාස හයක් වෙනකම් කල් ඉකුත් වුන සිද්ධි හසුරවන්න පුළුවන් නේද?’ කියලා අහගෙන එතැනට ආවා. දැන් නිලධාරියො ගොඩයි. ලොකු නිලධාරිණිය ‘නෑ නෑ.. මෙයා කියනවනෙ මේ ලියල තියෙන්නෙ මැයි 12 නෙවෙයි දෙසැම්බර් 5 කියලා’ කියල ගමන් බලපත්‍රය අතට අරන් හොඳින් බලන්න ගත්තා (කොහෙ හරි මේ දිනය ලියල තියන පිළිවෙල dd/mm/yyyy කියල සඳනන්ව තියනවද කියල වෙන්න ඇති.)

දිනේ ලියල තියන පිළිවෙල ගැන සඳහනක් නැති වුනත්, හොඳ වෙලාවට ඒ නිලධාරිණියම හොයාගත්තා මගෙ උපන් දිනය වන 18 වෙනිදා ලියල තියෙන්නෙත් දවස මුලින් කියලා. මුලින් 18 තියනකොට ඒක මාසෙ වෙන්න බැරි බව ඇයට වැටහුන නිසා ප්‍රශ්නෙ විසඳුනා. ඊට පස්සෙ මගෙ ගමන් බලපත්‍රය එතැන හිටපු හැම නිලධාරියටම පෙන්නලා තේරුම් කරල දෙන්නත් ඇය අමතක කළෙ නෑ.

හොඳ වෙලාවට මගෙ උපන් දිනේ 12 වෙනිදායින් පස්සෙ දවසක් වුන නිසා වැඩේ ගොඩ ගියා. මාසෙ මුල දවසක් වුනානම් ඒත් අමාරුවෙ වැටෙනවා.

ලෝකෙ විවිධ රටවල දිනය ලියල පිළිවෙල වෙනස් බව අපේ රටේ ආගමන-විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොදන්නවද මන්දා. (ඔවුන්ගෙ හොඳ වගේම වැරදිත් පෙන්නලා දෙන්න ඕනෙනෙ.) ගමන් බලපත්‍රයේ දින සටහන් කරද්දි ලියන පිළිවෙල dd/mm/yyyy කියලා එතැනම සටහනක් කළානම් හෝ දිනය 12 December 2010 වගේ මාසය අකුරෙන් සටහන් කළානම් හෝ කිසි ගැටළුවක් වෙන්නෙ නෑ.

ගමන් බලපත්‍ර නිර්මාණයේදී මේ කාරණයත් සැලකිල්ලට ගන්නවානම් මට වගේ ඇබැද්දි වලට ලක් වෙන්න වෙන කාටවත් සිදු වෙන එකක් නෑ.