බබාට නමක් 2

අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ.

එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි  දැම්ම කියමුකො. ඊලඟ බබාටත් නමක් හොයන්න වෙන එක ඊටත් වඩා අමාරු කාරණයක් බව තේරුණෙ කරන්න යනකොට තමා.

ඇයි අමාරු? තේරුමක් නොතියෙන්නත් ඕනෙ; අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්නත් ඕනෙ; ඒ මදිවට අයියගෙ නම වගේ වෙන්නත් ඕනෙ කියලා අපි තීරණය කළානෙ. අනිත් එක මේ පාර කෙල්ලෙක්! කෙල්ලෙක්ගෙ නමක් වෙන්නත් ඕනෙ. ලේසි නෑ! ඒ මදිවට එකෙක් එක්ක වැඩපල කරගන්නෙ බොහොම අමාරුවෙන්, තව නමුත් හොයන්නම තමා වෙලාව තියෙන්නෙ.  එහෙමයි කියලා දරුවට නමක් නොදා පුළුවන්යෑ.

ඔන්න ඉතින් මේ පාර ලංකාවෙන් නම් ටිකක් ආනයනය කරලා නමක් හදාගන්න බැලුවා. මොන, ඒ නම් කිව්වහම හක්ක පනිනවා. ලොකු එකාට දාල තියන නම මෙහෙ ඉන්න සුද්දො කියන්නෙත් වරද්දලා. කොහොමත් වාසගමනම් රුවිත කරලා තමා කියන්නෙ. ආනයනය කළ නම් දැම්මොත් සුද්දො කියන්නෙ මුල අකුර විතරයි ෂුවර් එකටම. ඒ නම් ටික එහෙම්මම පැත්තකට දැම්මා.

මගෙ ඔළුවට ඇවිත් තිබ්බෙ අයියගෙ නමේ අකුරු ටික එහෙට මෙහෙට දාලා නමක් හදලා බලන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවනකොට මෙන්න නමක් සෙට් වුනා. අයියගෙ මැද නම කෙල්ලෙකුට ගැලපෙන විදියට වෙනස් කළා. ඔන්න දැන් කෙලි පොඩ්ඩෙකුට හරියන්න නමක් තියනවා. ඒත් ඉතින් මේ නම බැකප් එකක් විදියට තියාගෙන ඊට වඩා හොඳ නමක් ලැබුනොත් දානවා කියලා හිතන් හිටියෙ. ඒත් හරියන නමක් ලැබුනෙ නෑ. ඒ මදිවට මේ කෙල්ලට ඉක්මනට ලෝකෙ බලන්න එන්න ඕනෙ වුනානෙ. ඉතින් මක්ක කොරන්නද? අර බැකප් නම අනුමත කරලා නාමාරූඪ කළා.

අයියා “නදිත දිල්මික”. නංගි “තිනුදි දිලුනිකා”.

මේ ඉන්න කෙලි පොඩ්ඩ ඉපදිලා දවසකින්.
අයියයි නංගියි දැන් ටිකක් ලොකුයි.

කාන්දුවෙන් රෙදි ගැලවීම

ජුලියන් අයියා “කාන්දුව” පත්තරේ පටන් ගත්තේ ලොකු-ලොකු මුදලාලිලාගේ සහ ගම්මුලාදෑනිවරු සහ උන්ගේ හෙංචයියන්ගේ හොර වැඩ ගම්මුන්ට එලිදරව් කිරීමටය. අවුරුදු ගානකට කලිනුත් කාන්දුව පත්තරෙන් එක එක ගම්වල ලොකු ඈයින්ගේ රහස් පයිණ්ඩ එලියට ආවේය. ඒත් ගම්මු කාටවත් ඒවා ගැන එච්චර වගක් තිබුනේ නැත.

එක්සත් ගමේ චණ්ඩි වෙන ගම්වලට ගෙහුන් අහිංසකයන්ට ගුටි-බැට දෙන හැටි කාන්දුව පත්තරෙන් එලි වෙනකොට, එක්සත් ගමේ ලොක්කන්ගේ රෙදි ගැලවුනේය. පහුගිය දොහේ කීප සැරයක්ම මේ විදියට ජුලියන් අයියා එක්සත් ගමේ ලොකු උදවියගේ රෙදි ගලවා දැම්මේය. එක්සත්  ගමේ ගම්මුලාදෑනියා හරි හෙංචයියෙක් හරි මොකක් හරි බේගලයක් ඇදබාලා ඒ වෙලාවට වහං වී ඉඳලා ඊට පස්සේ ආයිත් රෙද්ද ඇඳගෙන ලොකු මහත්තැන් ලීලාවෙන් ඉන්නට උන්ට ඇහැක් විය.

ජුලියන් අයියා වැඩේ අතෑරියේ නැත. එක්සත් ගමේ ඈයෝ වෙන ගම්වල ඉඳං ඔත්තු බලලා යවපු රහස් පයිණ්ඩ තොගයක්ම කාන්දුව පත්තරේ දැම්මේය. ඒ පාරනම් එක්සත් ගම්මුලාදෑනියාගේ  සහ ලොකු ලොකු හෙංචයියන්ගේ රෙද්ද ගැලවිලාම ගියේය. වෙනදා වගේ වහං වෙලා ආයිත් රෙද්ද ඇඳන් එන සෙල්ලම කරන්න බැරි බව තේරුනේ පිට ගම්වල ගම්මු පවා කාන්දුව පත්තරේ කියෝපු නිසාය. ජුලියන් අයියා කරපු වැඩේට පලිය ගන්න මොකක් හරි සූත්තරයක් අටවන්න එක්සත් ගමේ හෙංචයියෝ දත කෑවෝය.

එක්සත් ගමේ පත්තර වලින් රහස් පයිණ්ඩ ගැන වැඩි යමක් නොකියා හිටපු එක පලවෙනි සූත්තරය විය. කිව්වානම් කිව්වේ අහවල් ගමේ ගම්මුලාදෑනියා අහවල් දේ කළේය වගේ කාටවත් වැඩක් නැති  ඕපාදූපයකි. එක්සත් ගමේ චණ්ඩි අහිංසකයන්ට ගහද්දී ඒවා ගැන කටින් කෙල බිඳක් හලන්නේ නැතිව ඉඳගෙන, වෙන ගම්වල කෝලහාල වලදී කවුරු කාට ගැහුවාද වගේ දේවල් ගැන ඔත්තු බැලුවේ ඇයිද කියා එහෙම බැරිවෙලාවත් එක්සත් ගමේ ලොකු ලොක්කෝ කීවේවත්, පත්තර වල ගියේවත් නැත.

කාන්දුව පත්තරේට කාසි පනම් ලැබෙන එක නතර කරන්න පුළුවං හැම දෙයක්ම කරන්න එක්සත් ගමේ මුදලාලිලා පුළුවන් තරම් දත කෑවෝය. ඒ වැඩේ නිසා තරහ ගිය ගම්මු කට්ටියක් එකතු වෙලා ඒ මුදලාලිලාගේ ජාවාරම් කඩාකප්පල් කරන්නත් හැදුවෝය.

ඒ අව් අස්සේ, ජුලියන් අයියාගේ රෙද්ද ගලවන්න කියා මිනිහාව නඩුවක පටලන්න එක්සත් ගමට එහෙයි කියනා ගම් දෙකක් අරෑඳුවෝය. ස්වදේශී ගමේ ගැටිස්සියෝ දෙන්නෙක් ජුලියන් අයියා තමන්ට බලහත්කාරකම් කළාය කියා කිව්වෝය. ජුලියන් අයියා කිව්වේ ඒ ගැටිස්සියෝ කැමැත්තෙන් තමන් එක්ක හිටි බවය. කොහොමෙන් කොහොමෙන් හරි මොකක් හරි නඩුවක පටලන්න ඕනෙ නිසා මහගමේදී ජුලියන් අයියාව අල්ලා හිරකරගෙන ඉඳිති.

ගමරාල මුවහමට තඩිබාන්නා සේ, තවත් කොහොමහරි ජුලියන් අයියාට රිද්දන්න එක්සත් ගමේ ලොකු-ලොක්කෝ සූත්තර කල්පනා කළෝය. එක්සත් ගමේ කාලෙ පත්තරේ පිට ගම්මුත් කියවන එකකි. කාලෙ පත්තරෙන් දෙන හවුරුද්දේ ගැමියා සම්මානයට ජුලියන් අයියාගේ නමද යෝජනා වුනේය. පත්තරේ කියෝන ගැමියෝ කිව්වේ ඒ සම්මානය ජුලියන් අයියාටම ලැබිය යුතු බවය. ඒ උනාට ඒ සම්මානේ දුන්නේ එක්සත් ගමේම බර සල්ලිකාර කොලු ගැටයෙකුටය.

මේ විදියට ජුලියන් අයියාගේ රෙද්ද ගලවන්න හැදුවත්, කාන්දුව පත්තරේට කාසි පනම් නතර කෙරුවත් එක්සත් ගමේ අයට එක ලොකු දෙයක් අමතකය. ඒ උන් තාමත් ඉන්නේ හෙළුවෙන් බවය.

නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

කවුරුත් “නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ” කියන කියමන අහල ඇතිනෙ. මේ කියමන හැදුන හැටි දැනගන්න කැමතිද? එහෙනම් දිගටම කියවන්න.

ඔන්න එකෝමත් එක රටක කැළෑවක අලියෙක් මැරිල හිටියලු. මේ අලියගෙ මළකුණේ මස් කන්න නරියෙක් ආවලු. මේ නරියා අලියගෙ කුණේ පැත්තකින් මස් කාගෙන කාගෙන ගියාලු. මේ විදියට නරියා මස් කනකොට මළකුණේ හිලක් හැදුනලු. නරියා ඒ හිලෙන් ඇතුලට රිංගලා ඇතුලෙ තියන මස් කන්න ගත්තලු.

ඌ ඒ විදියට මළකුණ ඇතුලෙ ඉන්න අතරෙදි, අව්වට අලියගෙ හම වේලිලා ඇඹරිලා පුංචි වෙලා ගියාලු. එතකොට නරියා ඇතුලට රිංගපු හිලත් වැහිල ගියාලු. ඉතිං නරියා අලියගෙ මළකුණ ඇතුලෙ හිර වුනාලු.

ඔය අතරෙ බෙරවායෙක් බෙරේකුත් එල්ලගෙන තොවිලෙකට ගියාලු  ඒ අලියගෙ මළකුණ ළඟින්. නරියට ඇහුනලු කවුදෝ යන සද්දයක්. නරියා මළකුණ ඇතුලෙ ඉඳන් ඇහුවලු “කවුද ඔය යන්නෙ?” කියලා.

එතකොට බෙරවායා කිව්වලු “මම මේ තොවිලෙකට යන ගමන්” කියලා. එතකොට නරියා කිව්වලු “මගේ අවසරයකින් තොරව මගෙ වැයික්කියෙන් යන්න උඹ කවුද?” කියලා.

පේන්න කවුරුත් නැතිව කථාකරන්නෙ යකෙක් හරි දෙවියෙක් හරි තමා කියලා හිතපු බෙරවායා “ගැත්තාට සමාවනු මැනවි, මං මේ අඩවියෙන් ගියෙ (අවසර ගන්න ඕනෙ බව ) නොදැනයි. මම මේ තොවිලෙකට බෙර ගහන්න යන ගමන්.” කියලා කිව්වලු.

එතකොට නරියා ඇහුවලු “බෙර ගැහුවාම උඹට මොනවද ලැබෙන්නෙ?” කියලා. “අනේ ඉතින් කන්න බොන්නත් එක්ක පොඩි ගතමනාවකුත් ලැබෙනවා. එච්චරයි” කියලා බෙරවාය කිව්වලු.

එතකොට නරියා කිව්වලු “මම උඹට ඇති වෙන්න රත්තරන් දෙන්නම්. උඹේ වාසනාවකට තමා උඹ මේ ඉසව්වෙන් ගියෙ. මම මෙතන තියන මහා නිධානයක් රකින දේවතාවෙක්. උඹට මේ නිධානෙ ගන්න පුළුවන් මම කියන විදියට කළොත්” කියලා. රත්තරන් වලට කෑදරකමේ බෙරවායත් කියන දෙයක් කරන්න කැමති වුනාලු.

“උඹේ අතේ බෙරයක් තියනවා නොවැ. ඒ බෙරේ එක ඇහැක් පළලා බෙරේට වතුර පුරවගෙන ඇවිත්, මේ අලි කුණට හලාපිය” කියලා නරියා උපදෙස් දුන්නලු. නිධානෙට ලෝභකමේ බෙරවායත් තමන්ගෙ බෙරේ එක පළුවක් අයින් කරලා ඒකට වතුර පුරවන් ඇවිත් වේලිච්ච අලි කුණට හැලුවලු.

අනේ ඉතිං මේ විදියට වතුර වැටෙද්දි වේලිච්ච අලි හම ආයෙත් මෙලෙක් වීගෙන ආවලු. නරියත් ඇතුලෙ ඉඳන්, උගෙ හොම්බෙන් ඇනලා ඇනලා හම මෙලෙක් කරගෙන ඌ ඇතුලට ආපු හිල පාදගෙන එලියට පැනලා දිව්වලු.

බෙරවායා අලියගෙ කුණ ඇතුලට එබිල බැලුවහම, දෙවියෙක් නෙවෙයිලු හිටියෙ, ඉහඳ පණුවොලු. ඒ මිනිහා පැලිච්ච බෙරෙත් අරන් තොවිලෙට ගිහින් වැඩක් නැති නිසා වෙච්ච පාඩුව ගැන තැවෙමින් ගෙදර ගියාලු.

(වයඹ රදා කුලයේ ජන කථාවක්.)
(ඉහත කියමනේ මූලාශ්‍රය ගැන වෙනත් කථාද තිබිය හැකියි.)

පස්සෙ හිලක්

කතන්දර චූ කරන එක ගැන කතන්දර කියනකොට ඒව ප්‍රසිද්ධියෙ නොකියන ටැබූ දේවල් කියලා කට්ටිය කියල තිබුනනෙ. ඇත්ත තමා! අපේ සමාජයේ චූ කරන එක, කක්ක කරන එක ගැන විතරක් නෙවෙයි, ඒවට පාවිච්චි කරන ඇඟේ අවයව වල නම් පවා ප්‍රසිද්ධියේ කියන්නෙ නෑනෙ. සමහරුන්ට ‘පස්ස’ කියන්නෙත් කුණුහරුපයක්. අනිත් ඒව ගැන කවර කථාද?

ඉස්කෝලෙ යන කාලෙදි අපි කළ පොඩි බයිට් වැඩක් ගැනයි කියන්න යන්නෙ. කකුල් දෙකටම දිග කලිසම් අඳින අයියලා වුනාට පස්සෙ අර කොටම කොට කලිසම් අඳින මල්ලිලව බයිට් කරන්න බයක් නෑ. (මොකද කොට කලිසම අඳින කොට අපිත් ඕන තරම් බයිට් වෙලා තියන එකේ වාඩුව ගන්නත් එපයැ.) ඉතින් කකුල් දෙකටම දිග කලිසම් ඇඳගෙන අයියලා ඉස්කෝලෙ වටේ යනවා බයිට් කරන්න මල්ලිලා හොයාගෙන. (අනේ ශාරීරික වද හිංසා එහෙම කළෙ නෑ ඒ අයියලා.)

ඔහොම යන අතරෙ දකින සමහර මල්ලිලට “මල්ලි, මල්ලි… ඔයාගෙ පස්ස පැත්තෙ හිලක්” කියලා අයිය කෙනෙක් කියන්නෙ සහෝදර ප්‍රේමයටමයි. අනේ ඉතින් ඒ අහිංසක මල්ලියත් පස්ස පැත්ත අතගාලා බලලා “බොරු කියන්නෙ එපා අයියෙ..හිලක් නෑ” කියලා කියන්නෙ ‘හ්ම්.. අපි අහුවෙයි ඔය අයියලගෙ බොරු වලට’ කියලා වීරයා වගේ යටි හිතෙන් කියන ගමන්.

අන්න එතකොට තමා එච්චර වෙලාවක් නිහඬව හිටපු අනිත් අයියලා ටිකත් මල්ලියව වට කරගෙන, මහා හයියෙන් “මල්ලි හොඳටම ෂුවර්ද පස්සෙ හිලක් නෑ කියලා?”  කියල අහන්නෙ වටේ පිටේ ඉන්න අනිත් අයටත් ඇහෙන්නෙ. මල්ලියත් ලැජ්ජාවෙන් ආයෙත් පාරක් පස්ස අතගාලා “හිලක් නෑ අයියෙ” කියලා හෙමීට කියනවා.

“ඈ බොල. උඹ බොග (කක්කා) දාන්නෙ කොහෙන්ද? පස්සෙ නැතුව වෙන කොහෙවත් හිලක් එහෙම තියනවද බොට?” කියලා මහ හයියෙන් ඇහුවාම මල්ලියා ‘රුං’ ගාලා මාරු වෙන්නෙ යාළුවන්ගෙ සරදම් හිනා හඬ අතරින්.

අලුත් මාළු විකිණීමට තිබේ

පබිලිස් සිඤ්ඤෝ ප්‍රසිද්ධ මාළු වෙළෙන්දෙක්. ගමේ කට්ටිය කථා කළේ පබිලිස් අයියා කියලයි. පොඩි ළමයිනම් පබිලිස් මාම කියලත් කිව්ව. උදැහැනැක්කෙම සිදාදියට බයිසිකලෙන් ගොහින් තෝරු, මෝරු, කෙලවල්ලො, සාලයො, පියාමැස්සො හාල්මැස්සො, ඉස්සො පෙට්ටිය පිරෙන්න පුරෝගෙන ගමට ඇවිත් “මාලෝ..ඕ” කියාගෙන ගම වටේ ගොහින් මාළු ටික විකුණන එක තමා පබිලිස් අයියගෙ රස්සාව. පොඩි ලාභයක් විතරක් තියාගෙන අලුත් මාළු විකුණන පබිලිස් අයියගෙන් මාළු ගන්න ගමේ ගෑණු කැමැතියි.

දන්න කියන කාලෙ ඉඳන් කළ රස්සාව බයිසිකලේ ගිහින් මාළු විකුණන එක උනාට ටිකෙන් ටික වයසට යනකොට ඒක දිගටම කරන්න අමාරු නිසා මාළු කඩයක්වත් දාන්න ඕනෙ කියලා පබිලිස් අයියා කල්පනා කළා. ඒ නිසා අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ටිකකුයි, අත මාරුවට එක එක්කෙනාගෙන් ඉල්ලගත්ත සල්ලියි දාලා පුංචි මාළු කඩ කෑල්ලක් ගමේ කඩමණ්ඩියෙ කෙලවරින් පටන් ගත්තා.

කඩේ පුංචි උනාට හොඳට පෙනුමට තිබ්බොත් තමා මිනිස්සු ඇවිත් මාළු ගන්නෙ කියල කවුදෝ දීපු උපදෙසක් නිසා පබිලිස් අයියත් හිතුවා ලොකුවට බෝඩ් ලෑල්ලක් කඩේ ඉස්සරහින් එල්ලගන්න ඕනෙ කියලා. ගමේ සිත්තර ගුරුන්නාන්සෙ සේදිරිස් අප්පුහාමිගෙ ගේ පොඩිය පැත්තට දවසක්දා හවස ගිය පබිලිස් අයියා තමන්ගෙ මාළු කඩේ ඉස්සරහින් ගහන්න බෝඩ් ලෑල්ලක් ඇඳලා දෙන්න කොන්තරාත්තුවත් දීලයි ආවෙ.

සතියකට විතර පස්සෙ මාළු කඩේ අත් උදව්වට හිටපු සුමනෙ ළමයත් එක්ක එක්කහු වෙලා පබිලිස් අයියා සේදිරිස් අප්පුට කියලා අන්දගත්ත බෝඩ් ලෑල්ල මාළු කඩේ ඉස්සරහින් ඇටෙව්වා. ඈත ඉඳන් බලන අයටත් අපූරුවට පේන විදියට ලොකු රවුම් අකුරෙන් “මෙහි හොඳ අලුත් මාළු ලාබෙට විකිණීමට තිබේ” කියලා තමයි බෝඩ් ලෑල්ලෙ ලියල තිබ්බෙ. පබිලිස් අයියා කීප වතාවක්ම මාළු කඩෙන් එලියට බැහැලා බෝඩ් ලෑල්ලෙ හැඩ බලන්නත් අමතක කළේ නෑ.

පහුවෙනිදා උදෙන්ම පබිලිස් අයියගෙ මාළු කඩේට ගොඩ වැදුනෙ ආමිස් සිඤ්ඤෝ. “අපූරු බෝඩ් ලෑල්ල නොවැ පබිලිස් අයියෙ. දැන්නම් කඩේ හොඳ පෙනුමයි. අහල ගං හතකවත් නෑ නොවැ මේ වගේ බෝඩ් ලෑල්ලක් ගහපු මාළු කඩයක්. හොඳට වෙලඳාම තියෙයි එහෙනං ඈං” කියලා උන්දැ මාළු කෑල්ලකුත් අරං එලියට බැස්සා. එලියට බැහැලා ආයෙත් බෝඩ් ලෑල්ල දිහා බලලා “මං මේ කල්පනා කලේ පබිලිස් අයියෙ උඹ කවද්ද නරක මාළු විකිණුවෙ කියලා. උඹ හොඳ මාළු ඇරෙන්න වෙන යමක් කවදාවත් අපිට විකුණලා තියේයැ. ඉතිං අහවල් එකකටද මේ බෝඩ් ලෑල්ලෙ ‘හොඳ’ කියලා ලියලා තියෙන්නෙ, ඈං?” කියාගෙන යන්න ගියා.

“ආමිස් සිඤ්ඤො කිව්ව කථාවත් ඇත්ත තමා” කියලා හිතපු පබිලිස් අයියා සුමනෙ කොලුවව වහලෙට නග්ගලා බෝඩ් ලෑල්ලෙ “හොඳ” කියලා ලියල තිබ්බ කෑල්ල සායම් ටිකක් ගාල වැහැව්ව. දැන් බෝඩ් ලෑල්ලෙ තියෙන්නෙ “මෙහි අලුත් මාළු ලාබෙට විකිණීමට තිබේ” කියලයි.

ඊට පස්සෙ කඩේට ආවෙ කරුණාවතී. “පබිලිස් අයියෙ, මට සාලයො 500 ක් කිරල දෙන්නකො” කියලා ඉල්ලපු කරුණාවතී පබිලිස් අයියා මාළු කිරන අතරෙ “පබිලිස් අයියෙ, දැන් උඹේ කඩේ පරණ මාළු එහෙමත් විකුණන්න තියේද?” කියලා අහපි. ඒ පුරස්නෙන් අන්දුන් කුන්දුන් උන පබිලිස් අයියා “මොකක්ද කරුණාවතියො ඒ හරුපෙ තේරුම? මම උඹලට පරණ මාළු එහෙම විකුණලා තියෙනවද මේ සම්මජ්ජාතියට?” කියල ඇහැව්වෙ ටිකක් තරහින්. “ඒකම තමා මාත් මේ හිතුවෙ. අලුත් මාළු මිස පරණ මාළු නොවික්ක පබිලිස් අයියගෙ කඩේ ‘අලුත්’ මාළු තියේ කියල බෝඩ් ලෑල්ලක ලිව්වෙ මක්කටද?” කියල කරුණාවතී කිව්වහම පබිලිස් අයියා සුමනෙ කොලුවට “එහෙනං බෝඩ් ලෑල්ලෙ අලුත් කියල ලියපු එකත් මකහං කොලුවො” කියලා උපදෙසක් දුන්නා. දැන් “මෙහි මාළු ලාබෙට විකිණීමට තිබේ” කියල විතරයි බෝඩ් ලෑල්ලෙ ඉතුරු වෙලා තියෙන්නෙ.

මාළු ගන්න නෙවේ ඕප දූප හොය හොයා ආපු මැගි අක්කා පබිලිස් අයියගෙ මාළු කඩේට ගොඩ වැදුනෙ බෝඩ් ලෑල්ලෙ ගුණ-දොස් කියන්න. “පබිලිස් අයියෙ, කවද ඉඳන්ද බං උඹ ලාබෙට මාළු විකුණන්න ගත්තෙ?” කියල අපහු මැගියට පබිලිස් අයිය හොඳවැයින් කුණුහරුප දෙකක් කිව්වෙ හිතේ තරහින් නෙවේ. අනිත් මාළු කාරයින්ට වඩා ලාබෙට වික්ක බව ගමම දන්න නිසා කඩේ බෝඩ් ලෑල්ලෙ ‘ලාබෙට’ කියලා අමුතුවෙන් ලියන්න ඕනෙ නෑ කියලා පබිලිස් අයියට හිතුන නිසා බෝඩ් ලෑල්ලෙන් ‘ලාබෙට’ කෑල්ලත් මැකිල ගියා. ඉතුරු උනෙ “මෙහි මාළු විකිණීමට තිබේ” කියලයි.

ගමේ ආරච්චිල තිරික්කලෙන් කොහේදෝ රාජකාරියකට යන අතරෙ පබිලිස් අයියගෙ මාළු කඩේ බෝඩ් ලෑල්ල දැකලා “පබිලිසෝ, උඹට මාළු විකුණන්න මේ කඩේ ඇරෙන්නෙ වෙන ගුබ්බෑයමක් හෙම තියනවද?” කියලා තිරික්කලේ ඉඳලම කෑ ගහල ඇහුවා. එතකොට තමා පබිලිස් අයියට හිතුනෙ බෝඩ් ලෑල්ලෙන් ‘මෙහි’ කෑල්ලත් මකල දාන්න. සුමනෙ කොලුවත් බැණ බැණ සායම් තවරලා ‘මෙහි’ මැකුවට පස්සෙ ඉතුරු උනෙ “මාළු විකිණීමට තිබේ” කියලයි.

හවස් වරුවෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර යන ගමන් ඇලිස් නෝන ඉස්කෝලෙ හාමිනේ පබිලිස් අයියගෙ මාළු කඩේට ගොඩ උනා. “මොකද පබිලිස් මේ බෝඩ් ලෑල්ලෙ තැන තැන සායම් තවරලා? වැරදිලාවත්ද?” කියලා ඇලිස් නෝන ඉස්කෝල හාමිනේ ඇහුවහම පබිලිස් අයියා ලැජ්ජාසහගත හිනාවක් දැම්මා. “මාළු තියෙන්නෙ විකුණන්න ඇරෙන්න නිකං දෙන්න හෙම නෙවෙයිනෙ. ‘විකිණීමට’ කියල ලියල තියෙන්නෙත් වැරදිලා වෙන්ටැ. ඒ වැරැද්දත් හැදුවොත් නේද හොඳ?” කියලා ඉස්කෝල හාමිනේ යන්ට ගියා. “ඉස්කෝලෙ හාමිනේ ළමයින්ගෙ පොත්වල වැරදි දැකලා පුරුද්දට බෝඩ් ලෑල්ලෙ වැරැද්දත් දැක්ක වෙන්ටැ. දැනමුත්තො කියන දේ අහන එක නුවණට හුරුයි” කියලා හිතපු පබිලිස් අයියගෙ අණින් බෝඩ් ලෑල්ලෙන් ‘විකිණීමට’ වචනෙත් මැකුන නිසා දැන් තියෙන්නෙ “මාළු තිබේ” කියල විතරයි.

ඉර බහින්න ඔන්න මෙන්න තියෙද්දි කඩේ අන්තිම මාළු ටික අරන් යන්න කට්ටිය ඇවිත්. කට සැර ඒබරං සීයා හැරමිටියක් අරන් පන්සල පැත්තට ගාටන අතරෙ පබිලිස් අයියගෙ මාළු කඩේ අලුත් බෝඩ් ලෑල්ල දැකලා “පබිලිස් කොලුවෝ, උඹේ කඩේ මාළු ඇරෙන්ට සීනි-පිටි හෙමත් තියේයැ?” කියලා ඇහුවා.

“ඒකත් ඇත්ත තමා. එහෙනං මාළු කියන එකත් මකමුකො” කියලා හිතලා පබිලිස් අයියම සායම් ටිකත් අරන් එලියට බැස්ස. “යකෝ, ඒකත් මැකුවහම තිබේ කියල විතරනෙ ඉතුරු වෙන්නෙ. මුන් කියන දේ අහන්න ගියාට වැඩිය හොඳයි…..” කියලා තිත්ත වචන ටිකක් හෙමීට මුමුණ මුමුණ පබිලිස් අයියා බෝඩ් ලෑල්ල ගලෝල බැද්දට උසික්ක කොලා.

කථාවේ ආදර්ශය: කසල නිවැරදිව බැහැර කරන්න. කැලයට කුණු විසි කරන්න එපා. අද මිහිතල දිනයයි.

කලකට පෙර කියැවූ කථාවකි. මූලාශ්‍රය මතක නැත. (කථාවද හරිහැටි මතක නැත.) මගේම නිර්මාණයක් නොවේ..

පින්තූරය ගත්තෙ මෙතනින්.