ජපානයේ න්‍යෂ්ටික බලාගාරයට මොකද වුනේ

ජපානයේ සුනාමි විපතින් පස්සෙ ෆුකුෂිමාහි දායි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ සිදුවුන දේ ගැන මාධ්‍ය වලින් ගෙන එන වාර්තා බොහොම බිය දනවන සුළුයි. ඇත්තටම න්‍යෂ්ටික බලාගාරයේ වුන පිපිරීම මොකක්ද? ඒකෙන් වෙන බලපෑම් මොනවද? ලංකාවටත් විකිරණ වළාකුළු එයිද?

 

න්‍යෂ්ටික බලාගාරයක්න්‍යෂ්ටික බලාගාරයකින් මූලිකවම වෙන්නෙ වතුර උතුරවලා හුමාලය හදන එකයි. ඒ හුමාලය පාවිච්චි කරලා ටර්බයින(turbine) යන්ත්‍ර කරකැවීමෙන්, විදුලි උත්පාදකයක් (generator) මඟින් විදුලිය නිපදවා ගන්නවා. බලාගාරයේ “ද්විතීයක” (secondary) ගොඩනැඟිලි ඇතුලෙ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් වෙන්නෙ නෑ. විදුලිය නිපදවන ටර්බයින සහ ජෙනරේටර තියෙන්නෙත්, වතුර පොම්ප තියෙන්නෙත් ඒ ගොඩනැඟිලි වල. වතුර සිසිල් කරන්න ලොකු සිසිලන කුළුනකුත් (cooling tower) බලාගාරවල තියනවා.

උඩින් තියන රූපයේ “මූලික”(primary) කියලා නම් කළ කොටස ඇතුලෙ තමා න්‍යෂ්ටික විඛණ්ඩනය (nuclear fission) සිදු වෙන්නෙ. ප්‍රතික්‍රියාකාරක කුටීරය ඇතුලෙ තියන (reaction core) න්‍යෂ්ටික ඉන්ධන විඛණ්ඩනයෙදි විශාල තාපයක් පිටවෙනවා. මේ තාපය අධික පීඩනයක් යටතේ තියන වතුර (හෝ වෙනත් සිසිලකයක්) මඟින් හුමාල ජනකයක් වෙතට අරගෙන යනවා. තාපය හුවමාරු වෙලා හුමාල ජනකය ඇතුලෙදි හුමාලය හැදෙනවා. ඒ හුමාලය තමා විදුලිය නිපදවන්න පාවිච්චි කරන්නෙ.

භූමිකම්පාවෙන් මොකක්ද වුනේ?

න්‍යෂ්ටික බලාගාරයක තාපය නිපදවීම පාලනය කරන්න “පාලක යෂ්ඨි” (control rods) තියනවා. න්‍යෂ්ටික ඉන්ධන අහුරලා තියන “ඉන්ධන යෂ්ඨි”(fuel rods) අතරට මේ පාලක යෂ්ඨි පහත් කරනකොට තාපය නිපදවීම අඩු වෙනවා. පාලක යෂ්ඨි උස්සනකොට තාපය නිපදවීම වැඩි වෙනවා. ජපානයට ඇතිවුනු භූමිකම්පාවෙන් න්‍යෂ්ටික බලාගාරයට වුන මුල්ම දේ තමා ස්වයංක්‍රීයවම පාලක යෂ්ඨි ඉන්ධන යෂ්ඨි වෙතට පහත් වීමෙන් තාපය නිපදවීම  නැවතුන එක.

එහෙනම් මොකක්ද ප්‍රශ්නය?

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව නැවතුනත්, ඒ කුටීරය බොහොම උණුසුම්. ඒ නිසා ප්‍රතික්‍රියාකාරකය සිසිල් කරන්න දිගටම වතුර පොම්ප කළ යුතුයි. නමුත් බලාගාරය නතරවුනාම පොම්ප ක්‍රියාත්මක කරන්න විදුලිය ඕනෙ. ඒකට බාහිර විදුලි උත්පාදකයක් අවශ්‍යයි. ඩීසල් ජෙනරේටරයක් පාවිච්චි කරලා පොම්ප ක්‍රියාත්මක කළත්, පසුව (සුනාමිය නිසා?) ඒ ඩීසල් ජෙනරේටරය ක්‍රියාවිරහිත වුනා. ඒ නිසා ප්‍රතික්‍රියාකාරකය ඇතුලෙ උෂ්ණත්වය අනතුරුදායක විදියට ඉහල ගියා. ඊට අමතරවට මේ ගොඩනැගිලි වල, පාවිච්චි කර ඉවත දැමිය යුතු න්‍යෂ්ටික ඉන්ධන යෂ්ඨි වතුරේ ගිල්වා ගබඩාකර තිබෙනවා. ඒවටත් සිසිලනයට  වතුර නැති වුවොත් උෂ්ණත්වයට ඉහල යනවා.

උෂ්ණත්වය වැඩිවුනාම මොකද වෙන්නෙ?

න්‍යෂ්ටික ඉන්ධන ගබඩාකරල තියන ලෝහමය ආවරණය අධික උණුසුමට දියවෙලා, න්‍යෂ්ටික ඉන්ධන ප්‍රතික්‍රියාකාරකයේ පතුලට එකතුවෙනවා. එතකොට ඉන්ධන යෂ්ඨි වලින් විකිරණ (radiation) පිටවෙනවා.

ඒ විකිරණ පරිසරයට පිටවෙනවද?

ප්‍රතික්‍රියාකාරකයේ පතුලට න්‍යෂ්ටික ඉන්ධන එකතුවුනාට පරිසරයට විකිරණ පිටවීම අනිවාර්ය නෑ. ප්‍රතික්‍රියාකාරකය වටා ඇති ගොඩනැගිල්ල (containment vessel) හදලා තියෙන්නෙ අඩි 4 ක පමණ ගණකමකින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින්. ඒ ගොඩනැගිල්ල සැලසුම් කරන්නෙ අනතුරකදී විකිරණ පරිසරයට කාන්දු නොවී, ඒ ව්‍යූහය ඇතුලෙම රඳවාගන්න පුඵවන් වෙන විදියටයි.

එහෙනම් කොහොමද විකිරණ කාන්දු වුනෙ?

භුම්කම්පාවෙන් ගොඩනැගිල්ලේ ව්‍යුහයට හානි වෙන්න ඇති. ඊට අමතරව පිපිරීම් වලිනුත් හානි සිදුවෙලා තියනවා. ඒ හානි නිසා විකිරණ යම් තරමක් පරිසරයට කාන්දු වෙනවා.

මොකක්ද මේ සිදුවුන පිපිරීම?

න්‍යෂ්ටික පිපිරීමකින් නම් අනිවාර්යයෙන්ම විශාල හානියක් වෙනවා. නමුත් මෙතැනදී වෙලා තියෙන්නෙ හයිඩ්‍රිජන් පිපිරීමක්. සිසිලනයට ඇති තරම් වතුර තිබුනෙ නැති නිසා අධිකව රත්වූ ඉන්ධන යෂ්ඨි, පසුව පොම්ප කළ වතුරත් සමඟ ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රිජන් වායුව හැදිලා. ඒ වායුව කපාට සහ වෙනත් සිදුරු හරහා කාන්දු වී තිබෙනවා. හයිඩ්‍රිජන් වායුව, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමේදී පිපිරීමක් ඇති වෙනවා. මේ පිපිරීම් වලින් බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක 6 න් කීපයක මූලික ගොඩනැගිලි  (containment vessel) වලට හානි වී තිබෙනවා.

දැනට හානිය මොකක්ද?

ප්‍රතික්‍රියාකාරක 6 න් 3 කම ඉන්ධන යෂ්ඨි තරමක් දුරට හෝ දියවීමට ලක්ව ඇතැයි සැක කරනවා. සීසියම් (caesium) යනු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේ අතුරුඵලයක්. එය න්‍යෂ්ටික ඉන්ධන ගබඩාකර ඇති සර්කෝනියම් මිශ්‍රලෝහයෙන් (zirconium alloy) පිටට එන්නේ එම මිශ්‍රලෝහය දියවුනොත් විතරයි. නමුත් සීසියම් පිටවී ඇතිබවට වාර්තා වුනා. ඒ නිසා ප්‍රතික්‍රියාකාරක කුටිය ඇතුලෙ ඉතා ඉහල (සෙල්සියස් අංශක 2,700-2,800 පමණ) උෂ්ණත්වයක් ඇතිවී  ඉන්ධන යෂ්ඨි සමහරක් හෝ දියවී ඇති බවට සැක කළ හැකියි. සක්‍රිය වගේම අක්‍රිය න්‍යෂ්ටික ඉන්ධන යෂ්ඨි (වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ මේවා) වලිනුත් ඉන්ධන කාන්දු වෙමින් පවතින බවට සැක කරනවා.

දැනට හානිය වලක්වන්න කරන්නෙ මොනවද?

ඉන්ධන යෂ්ඨි සිසිල්ව තියාගන්න පුඵවන්තරම් වතුර පොම්ප කරන එක තමා දැනට කරන්නෙ. ගිනිනිවන පොම්ප, හෙලිකොප්ටර්, කැරලි මැඩපැවැත්වීම් වලට යොදාගන්නා වතුර පොම්ප ආදී දේවල් යොදාගෙන දිගටම ප්‍රතික්‍රියාකාරක වලට වතුර යවන එක දිගම කරනවා. ඊට අමතරව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේ වේගය බාල කරන්න  බෝරික් අම්ලයත් යොදාගන්නවා.

වෙන්න පුඵවන් මොනවගේ දෙයක්ද?

දැනට යන විදියට ඉන්ධන යෂ්ඨි දිගටම සිසිල් කරගන්න පුඵවන් වුනොත්, පරිසරයට සිදුවෙන හානිය අඩුයි. බලාගාරයේ සිට කිලෝමීටර් 25 ක් වගේ ප්‍රදේශයකට තමා හානියක් වෙන්නෙ. නමුත් මොකක් හරි හේතුවකට බලාගාරයේ උෂ්ණත්වයට පාලනයට කරන්න බැරි වුනොත්, විශාල විකිරණ කාන්දුවක් සිදුවේවි. එය 1986 චර්නොබිල් ඛේදවාචකයට දෙවැනි වන එකක් නෑ.

විකිරණ වළාවක් ලංකාවටත් එයිද?

ලොකු අනතුරක් වුනොත් එහෙම වෙන්න බැරිකමකුත් නෑ. ඒත් ඉඩකඩ බොහොම අඩුයි. සුළං මත ඒක තීරණය වේවි. (ඔයිට වඩා බරපතල හානියක් කරපු හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බ වලින් ඇතිවුනු විකිරණ වළාව ලංකාවට ඇවිත් හානියක් කළායැ! )

මම න්‍යෂ්ටික බලය ගැන විශේෂඥයෙක් නෙවෙයි. මම දන්න විදියට කරුණු සටහන් කළා. වැරැද්දක් තියනවානම් පෙන්වලා දෙන්න.

න්‍යෂ්ටික බලාගාර ගැන ලිපි කීපයක් මීට පෙර අල්කෙමියාගේ සහ මැදපිලිවෙත බ්ලොග් වල ලියැවුනා.

පින්තූරෙ ගත්තෙ මෙතැනින්. http://www.nrc.gov/reading-rm/doc-collections/fact-sheets/3mile-isle.html

Advertisements

“ජපානයේ න්‍යෂ්ටික බලාගාරයට මොකද වුනේ” වෙත සිතුවිලි 31ක්

  1. නියමයි.. මොනව උනත් හොඳට විස්තර කරල තියෙනවා.. ලොකු ප්‍රශ්නයක් නොවේවා කියන එක තමයි මගේ එකම ප්‍රාර්ථනය.. ලොකේ මොනව්යින් මොනවා උනත් ලංකාවට ප්‍රශනයක් නෑ.. අපේ රජයි මැටි ඇමති හොරු කට්ටියයි දිවි පරදුවට තබා අපිව රැකගනීවි..

  2. මෑත කාලයේදී කියවපු හොදමම ලිපිය…. ඇතුලෙ කොච්චර බරපතල දේවල් තිබ්බත් වැඩක් නෑ කියවන මනුස්සයාට තෙරුනෙ නැත්නම්…. මේ ලිපිය ඒ අතින් අති විශිෂ්ඨයි….

  3. මෙහෙම විස්තරයක් ලියපු එක ලොකු දෙයක්. මොකද මේ සම්බන්ධයෙන් නොයෙකුත් ව්‍යාජ කටකතා ප්‍රචාර පැතිරෙනවා. මට අද උදෙත් ආවා එකක්, අද උදෑසන බලාගාරය පිපිරිලා ඒ නිසා වැස්ස තෙමෙන්න එපා කියලා.

    දන්න කියන අයටත් දැනගන්න මමත් මේක facebookහි share කරනවා ඔන්න.

  4. කරුණු කිහිපයක් නිවැරදි කිරිමට කැමැත්තෙමි…
    1. පාලක යෂ්ටි පහට් කල පමණින් තාපය නිපදවීම 90% පමණ පහල බසින නමුදු සම්පුර්නයෙන් නැවතීමට මාස ගණනාවක් ගතවේ.
    2. ගැටලුව “විකිරණ පිටවීම” පමණක් නොව විකිරනශීලි මුලද්‍රව්‍ය ත් කඳු වීමය.
    3. දැනට විකිරනශීලි මුලද්‍රව්‍ය ක්‍රම කීපයකින් පරිසරයට කඳු වෙනවා :
    1.2 වන ප්‍රතික්රියකයේ (pressure suppresser ) කොටසට හානි වී තිබෙනවා මෙයින් පිටවන ජාල වාෂ්ප සමග විකිරනශීලි මුලද්‍රව්‍ය කඳු වෙනවා.
    2. 1, 2, 3 ප්‍රතික්‍රියක වල ඇතුලත අධික පීඩනයෙන් (containment vessel) කොටසට හානි විම වැලක්වීමට ප්‍රතික්රියකය ඇතුලත විකිරනශීලි මුලද්‍රව්‍ය වලින් දුෂ්‍ය වාෂ්ප විටින් විට පරිසරයට මුදා හරිනු ලබනවා
    3. ප්‍රතික්‍රියක වල බාවිතා කල වැයවූ න්‍යෂ්ටික ඉන්ධන 4 ,5, 6 යන ප්‍රතික්‍රියක ගොඩනැගිලි තුල තටාක වල තිබෙනවා . මෙම තටාක 40C පමණ උෂ්ණත්වයක තබා ගතයුතු උවත් විශේෂයෙන් 4 වන ප්‍රතික්‍රියකයේ ඊයේ (17) උෂ්ණත්වය 80C ට ලං වී තිබුණා. මෙම තටකයෙන් වාෂ්පවන ජලයත් විකිරනශීලි මුලද්‍රව්‍ය වලින් දුෂ්‍යයි.
    4.තත්වය කොතරම් දරුණු උවත් chernbyl ව්‍යසනයට සමාන ව්‍යසනයක් මෙහිදී කොහෙත්ම ඇතිවෙන්නේ නැහැ (මෙයට හේතු රාශියක් තියනවා)

    ඇත්තෙන්ම මෙමගින් ලංකාවට (අඩුමතරමේ ටෝකියෝ නගරයටවත්) හානිකර මට්ටමේ විකිරණ ගැටළුවක් කෙටි කාලීනව නැහැ. නමුත් දීර්ග කාලීනව මුළු ලෝකයටම ඉතා සුළු බලපෑමක් තියනවා.

    1. විකිරණශීලී මූලද්‍රව්‍ය කාන්දුවීම ගැන ඔබ නිවැරදියි.
      චර්නොබිල් අනතුර 1 සිට 7 දක්වා පරිමාණයක 7 වන කාණ්ඩයේ ව්‍යසනයක් ලෙස වර්ග කර ඇති අතර, දැනට මෙම අනතුර 5 වන කාණ්ඩයේ අනතුරක් ලෙස වර්ග කර තිබෙනවා.

      බොහොම ස්තුතියි තවත් කරුණු සමගින් ඔබේ ප්‍රතිචාරය එක් කළාට.

  5. මම දන්නා විදිහට න්‍යෂ්ටික බලාගාරයක බිත්තිවල ලෙඩ් (Pb) (ඊයම්) බිත්තියකුත් තියෙනවා.ඊයම් කියන්නේ විකිරණ අවශෝශකයක්. අධික උෂ්ණත්වයට මේවා දියවෙච්ච එකත් විකිරණ කාන්දුවට හේතුවක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )