කවුද යාළුවා

මට ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. එකෙක් සුද්දෙක්. අනිකා චීනෙක්. මුන් දෙන්නම මගෙත් එක්ක තියෙන්නෙ යාළු කමට කරන ආශ්‍රයකට වඩා  බිස්නස් ආශ්‍රයක්. මමත් අතේ දුරින් තමා මේ දෙන්නව ආශ්‍රය කරන්න බලන්නෙ. හැබැයි සුද්දයි චීනයි එච්චර හිත හොඳ නෑ ඕං.

ඉස්සර කාලෙ මුන්ගෙ මහ උන් අපිව යටත් කරගෙන හිටිය මදිවට අපේ රටේ සම්පත් හූරා කෑව කියල මතක් වෙනකොට සුද්දත් එක්ක තරහ වෙන්නත් හිතෙනවා. ඒත් පහුගිය කාලෙ අපේ ගෙදර වැඩ ටිකක් කරගන්න අත-මිට හිඟ වෙලා තියෙද්දි සුද්දා මට අතමාරුවට කාසි-පනම් දුන්න නිසා තරහ වෙලත් බෑ. මගෙ බිස්නස් එකේ බඩු වැඩිපුර ගන්නෙත් සුද්දා තමා.

චීනත් හැබැයි මෑතකදි මට අතමාරුවට කාසි-පනම් දීල තියනවා. පහුගිය දොහේ අපේ ගෙදර-දොරේ අලුත් වැඩ ටිකක් කරන්න කාසි මදි උනාම චීනා තමා නෑ-බෑ නොකියා දුන්නෙ. ඒත් ඉතින් මම පොලියත් එක්ක ගෙවන්න ඕනෙ ණය. මොකෝ සුද්දටත් ඉස්සර කාලෙ ගත්ත ණය තාම ගෙවනවනෙ.

සුද්දත් මට සල්ලි දෙන්නම් කිව්වා. ඒත් මිනිහගෙ මාර නීතිනෙ තිබ්බෙ. අපේ ගෙදර පොඩි උන් දෙන්න නිතරම රණ්ඩු. සුද්දා කියපි සල්ලි දෙන්නෙ ලොකු එකාට ගහලා, පැත්තකට කරල දාලා, පොඩි එකාට සීනි බෝල දුන්නොත් විතරයි කියලා. “අනේ ඔය පොඩි උන්ගෙ රණ්ඩු  උන් බේර ගත්ත දෙන්, මම උඹේ ගෙදර වැඩට සල්ලි දෙන්නම්” කියලා චීනා කියපු නිසා මම උගෙන් තමා සල්ලි ඉල්ලගත්තෙ. මම මොකටෙයි සුද්දගෙ නීති වලට යට වෙන්නෙ!

ඒ තරහටද මන්ද සුද්දා උගෙ යාළු-මාළුවොත් එක්ක එක්කහු වෙලා මට අංචියක් අදින්න ආවනෙ, මුන්ගෙ ගෙදර පොඩි උන් දෙන්නා ගහගන්නවා වැඩියි, අපි ඒ ගැන හොයන්න එන්න ඕනෙ, අරකද, මේකද කියලා. මම “අපේ ගෙදර රණ්ඩු මම බලාගන්නම්” කීවට උන් ගණන් ගත්තෙම නෑ. හොඳ වෙලාවට චීනත් කිව්වා සුද්දට “උන්ගෙ ගෙදර රණ්ඩු උන්ට විසඳගන්න දීපන්” කියලා. ඒකෙන් හොඳට ගියා. ඒ වගේ අංචි කීයක් නම් අදින්න සුද්දා දත කෑවද? චීනා කොහොම හරි මගෙ පැත්තෙ හිටිය නිසා හොඳට ගියා.

ඒ කිව්වහමයි මතක් උනෙ, ඉස්සර එක දවසක අපේ උන් දෙන්නා ගහගෙන, පොඩි එකා අඬාගෙන අල්ලපු ගෙදරට ගියා. අල්ලපු ගෙදර එකා ආවනෙ අපේ ගෙදරට පොඩි එකාව බේරගන්න. මම කීවා “උඹ අපේ ගෙදර රණ්ඩු වලට අත දාන්න එන්න ඕනෙ නෑ” කියලා. අල්ලපු ගෙදර එකා ඒ කාලෙ චණ්ඩියා උනාට, මම ඒ කාලෙ සුද්දා එක්ක හොඳට යාළු වෙලා හිටිය නිසා මම බය නැතුව හිටියේ සුද්දා අල්ලපු ගෙදර එකාට පාඩමක් උගන්නලා “උන්ගෙ රණ්ඩු උන්ට බේරගන්න දීපන්” කියලා කියයි කියලා. මොන, සුද්දා ඒ දවස් වල උන්නද මලාද නෑ. යාළු කම කොහේද නෑ..මට ලැජ්ජාවේ බෑ, අල්ලපු ගෙදර එකා අපේ ගෙදර රණ්ඩු බේරනකොට.

ලඟදි ඉඳන් මට කට්ටිය කියනවා “උඹ චීනා පස්සෙන් යනවා වැඩියි, උඹ චීනට ගොට්ට අල්ලනවා වගේනෙ” කියලා. මමත් චීනගෙ පොඩි පොඩි දේවල් වලට සහයෝගයක් දුන්න තමා. ඒවා සමහරක් සුද්දා අකමැති වැඩත් තමා. ඒත් ඉතින් මම කළෙ මට උදව් කළ කෙනාට අනිත් පැත්තට උදව්වක් කළ එකයි. ඒක වැරදිද මන්දා?

කට්ටිය තව අහනවා “එතකොට සුද්දා උඹේ යාළුවෙක් නෙවෙයිද, චීනද උඹේ යාළුවා?” කියලා.  අනේ මන්දා මට මේක තෝරගන්න බැරි ප්‍රශ්නයක්. ඇත්තම කිව්වොත් මුන් දෙන්නම යාළුවන්ට වඩා මාත් එක්ක බිස්නස් කරන්න බලන් ඉන්න උන්. ඔයාලටවත් කියන්න  පුළුවන්ද කවුද අඩුවෙන් නරක යාළුවා කියලා?

නින්ද

එක් එක් පුද්ගලයා නින්දට යන්න පුරුදුවී තිබෙන්නේ වෙන වෙනස් වෙලාවට. ඒ වගේම එක් එක් පුද්ගලයා නිදාගන්නා කාලයත් වෙනස්. සමහරු දවසකට පැය 8 ක් නිදාගනිද්දි, තවත් සමහරු පැය 4 ක් නිදා ගන්නවා. ඇත්තටම නිදාගන්න හොඳම වෙලාව මොකක්ද? අපි කොපමණ කාලයක් නිදාගන්න ඕනෙද? නිදාගත්තෙ නැත්නම් මොකක්ද වෙන්නෙ?

මිනිසාගේ රුධිර පීඩනය, අභ්‍යන්තර ශරීර උෂ්ණත්වය, මොළයේ ක්‍රියාකාරීත්වය, හෝමෝන නිෂ්පාදනය, සෛල ප්‍රතිජනනය ආදී ශාරීරික ක්‍රියා බොහොමයක් පැය 24 ක් පමණ වන රිද්මයක්  වටා ක්‍රියාත්මක වෙනවා. මිනිසාගේ ජීව ඔරලෝසුව ලෙසද හඳුන්වන මෙය, සර්කේඩියානු රිද්මය ලෙස හඳුන්වනවා. මේ සර්කේඩියානු රිද්මය දළ වශයෙන් පහත පරිදියි.

සර්කේඩියානු රිද්මය

මේ රූපයෙන් පැහැදිලි වන දෙයක් තමා ශරීරයේ ක්‍රියාකාරීත්වය උපරිම වන්නේ දවල් 1 පමණ සිට රාත්‍රී 7 දක්වා බව සහ ශරීරයේ ක්‍රියාකාරකම් අවම වන්නේ රාත්‍රී 10 සහ උදේ 8 අතර බව. ශරීරයේ ක්‍රියාකාරකම් අවම කාලය වන රාත්‍රී 10 සහ උදේ 8 අතරතුර නින්ද ලබාගැනීම “ගුණාත්මක” නින්දක් ලෙස හැඳින්විය හැකියි. නින්ද ලබාගන්නා කාලයට (පැය ගණනට) වඩා, නින්ද ලබාගන්නා වෙලාවයි වැදගත්. දිවා කාලයේදී පැය 8 ක් නිදාගැනීමට වඩා, රාත්‍රී 10 න් පසු පැය 8 ක් නිදාගැනීම ගුණාත්මකයි.

කොපමණ වෙලාවක නින්දක් අවශ්‍යද යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒත් දිනපතාම අඩුවෙන් නිදාගත්තහම වෙන දේ පහත ප්‍රස්තාරයෙන් බලන්න. මේ ප්‍රස්තාරයෙන් පෙන්නන්නේ දිනකට නිදාගන්නා කාලය සීමා කිරීමෙන් යම්කිසි දෙයකට ප්‍රතිචාර දැක්වීමට යන කාලය වෙනස් වන හැටියි. (පුරුද්දෙන් කරන වැඩකදී මේ දත්ත වෙනස් වෙයි. මෙතැනදී ක්‍රියාක්‍රාරීත්වය මැන ඇත්තේ වෙන වෙනස් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වැඩක් සම්බන්ධයෙනුයි.)

නින්ද සීමා කිරීම සහ ක්‍රියාකාරීත්වය

දිනකට නිදාගන්නා කාලය පැය 8 කට වඩා අඩු වෙත්ම, ක්‍රියාකාරීත්වය පහල යනවා. මේකෙන් පැහැදිලි වෙනවා හොඳ ක්‍රියාකාරීත්වයේ ඉන්න නම් දිනකට පැය 7-9 අතර ප්‍රමාණයක් නිදාගත යුතු බව.  විභාගෙකට කලින් හොඳට නිදාගන්න කියන්නෙ ඒකයි.

නින්ද අඩු වුනාම වගේම නින්ද වැඩි උනාමත් ප්‍රශ්න. දවසකට පැය 10 කට වඩා නිදාගත්තොත් නින්ද වැඩි වීමෙන් මත් ගතියක් ඇති වෙන්න පුළුවන්.

සමහරු එක දිගට නිදි වරනවා දවස් ගාණක්ම. එතකොට වෙන දේ පහල තියන ප්‍රස්තාරෙන් බලාගන්නකෝ.

නිදි වැරීම සහ ක්‍රියාකාරීත්වය

මේ ප්‍රස්තාරයෙන් බොහොම පැහැදිලි ඇති එක දිගටම දවස් 2-3 ක් නිදි වරනකොට ක්‍රියාකාරීත්වය අඩු වෙන හැටි. සතියකට වඩා නිදි වැරීම මාරක වෙන්න පුළුවන්.

ප්‍රධාන නින්දට අමතරව, කෙටි නින්දවලුත් බොහොම ප්‍රයෝජනයි. විනාඩි 10 ක තරම් කෙටි නින්දකට පවා ශරීරය වගේම මනස ප්‍රකෘතිමත් කරන්න පුළුවන්. විනාඩි 30 කට අඩු කෙටි නින්දක් බොහොම ඵලදායක වුනාට, පැය 1-2 ක “කෙටි” නිදි එච්චර හොඳ නෑ. හේතුව තමා, ඒ වගේ නින්දකින් පස්සෙ අවදි වෙද්දි  අපේ මොළය නිසි ක්‍රියාකාරීත්වයට එන්න විනාඩි 5-20 ක් අතර කාලයක් ගතවීම. (ඇඟට නැතත් හිතට නිදිමත ගතිය දැනිලා ඇති පැය 1-2 දවල් නිදි දාන අය!). පැය 1-2 නින්දකින් පස්සෙ ඇහෙරෙනකොට, ප්‍රබෝධමත් ගතියකට වඩා, තවත් වෙහෙසකර ගතියක් දැනීම ස්වභාවිකයි.

ඔක්කොම කියවන්න කම්මැලි හිතුනා නම් මෙන්න සාරාංශය.

  • දවසකට පැය 5 ක වත් නින්දක් රාත්‍රී 10 සහ උදේ 8 අතර ලබාගන්න. 100% ක ක්‍රියාකාරීත්වයක් සඳහා දිනකට පැය 8 ක නින්දක් සාමාන්‍යයෙන් අවශ්‍යයි.
  • එක දිගටම නිදි වැරීම භයානකයි.
  • කෙටි නින්දක් (විනාඩි 30 ට අඩු) ලබාගැනීම ඵලදායකයි.

“නින්ද නැති රැයේ” බ්ලොග් ලියන්නෙ/කියවන්නෙ නැතිව, නිදාගන්න යන්න.

කාන්දුවෙන් රෙදි ගැලවීම

ජුලියන් අයියා “කාන්දුව” පත්තරේ පටන් ගත්තේ ලොකු-ලොකු මුදලාලිලාගේ සහ ගම්මුලාදෑනිවරු සහ උන්ගේ හෙංචයියන්ගේ හොර වැඩ ගම්මුන්ට එලිදරව් කිරීමටය. අවුරුදු ගානකට කලිනුත් කාන්දුව පත්තරෙන් එක එක ගම්වල ලොකු ඈයින්ගේ රහස් පයිණ්ඩ එලියට ආවේය. ඒත් ගම්මු කාටවත් ඒවා ගැන එච්චර වගක් තිබුනේ නැත.

එක්සත් ගමේ චණ්ඩි වෙන ගම්වලට ගෙහුන් අහිංසකයන්ට ගුටි-බැට දෙන හැටි කාන්දුව පත්තරෙන් එලි වෙනකොට, එක්සත් ගමේ ලොක්කන්ගේ රෙදි ගැලවුනේය. පහුගිය දොහේ කීප සැරයක්ම මේ විදියට ජුලියන් අයියා එක්සත් ගමේ ලොකු උදවියගේ රෙදි ගලවා දැම්මේය. එක්සත්  ගමේ ගම්මුලාදෑනියා හරි හෙංචයියෙක් හරි මොකක් හරි බේගලයක් ඇදබාලා ඒ වෙලාවට වහං වී ඉඳලා ඊට පස්සේ ආයිත් රෙද්ද ඇඳගෙන ලොකු මහත්තැන් ලීලාවෙන් ඉන්නට උන්ට ඇහැක් විය.

ජුලියන් අයියා වැඩේ අතෑරියේ නැත. එක්සත් ගමේ ඈයෝ වෙන ගම්වල ඉඳං ඔත්තු බලලා යවපු රහස් පයිණ්ඩ තොගයක්ම කාන්දුව පත්තරේ දැම්මේය. ඒ පාරනම් එක්සත් ගම්මුලාදෑනියාගේ  සහ ලොකු ලොකු හෙංචයියන්ගේ රෙද්ද ගැලවිලාම ගියේය. වෙනදා වගේ වහං වෙලා ආයිත් රෙද්ද ඇඳන් එන සෙල්ලම කරන්න බැරි බව තේරුනේ පිට ගම්වල ගම්මු පවා කාන්දුව පත්තරේ කියෝපු නිසාය. ජුලියන් අයියා කරපු වැඩේට පලිය ගන්න මොකක් හරි සූත්තරයක් අටවන්න එක්සත් ගමේ හෙංචයියෝ දත කෑවෝය.

එක්සත් ගමේ පත්තර වලින් රහස් පයිණ්ඩ ගැන වැඩි යමක් නොකියා හිටපු එක පලවෙනි සූත්තරය විය. කිව්වානම් කිව්වේ අහවල් ගමේ ගම්මුලාදෑනියා අහවල් දේ කළේය වගේ කාටවත් වැඩක් නැති  ඕපාදූපයකි. එක්සත් ගමේ චණ්ඩි අහිංසකයන්ට ගහද්දී ඒවා ගැන කටින් කෙල බිඳක් හලන්නේ නැතිව ඉඳගෙන, වෙන ගම්වල කෝලහාල වලදී කවුරු කාට ගැහුවාද වගේ දේවල් ගැන ඔත්තු බැලුවේ ඇයිද කියා එහෙම බැරිවෙලාවත් එක්සත් ගමේ ලොකු ලොක්කෝ කීවේවත්, පත්තර වල ගියේවත් නැත.

කාන්දුව පත්තරේට කාසි පනම් ලැබෙන එක නතර කරන්න පුළුවං හැම දෙයක්ම කරන්න එක්සත් ගමේ මුදලාලිලා පුළුවන් තරම් දත කෑවෝය. ඒ වැඩේ නිසා තරහ ගිය ගම්මු කට්ටියක් එකතු වෙලා ඒ මුදලාලිලාගේ ජාවාරම් කඩාකප්පල් කරන්නත් හැදුවෝය.

ඒ අව් අස්සේ, ජුලියන් අයියාගේ රෙද්ද ගලවන්න කියා මිනිහාව නඩුවක පටලන්න එක්සත් ගමට එහෙයි කියනා ගම් දෙකක් අරෑඳුවෝය. ස්වදේශී ගමේ ගැටිස්සියෝ දෙන්නෙක් ජුලියන් අයියා තමන්ට බලහත්කාරකම් කළාය කියා කිව්වෝය. ජුලියන් අයියා කිව්වේ ඒ ගැටිස්සියෝ කැමැත්තෙන් තමන් එක්ක හිටි බවය. කොහොමෙන් කොහොමෙන් හරි මොකක් හරි නඩුවක පටලන්න ඕනෙ නිසා මහගමේදී ජුලියන් අයියාව අල්ලා හිරකරගෙන ඉඳිති.

ගමරාල මුවහමට තඩිබාන්නා සේ, තවත් කොහොමහරි ජුලියන් අයියාට රිද්දන්න එක්සත් ගමේ ලොකු-ලොක්කෝ සූත්තර කල්පනා කළෝය. එක්සත් ගමේ කාලෙ පත්තරේ පිට ගම්මුත් කියවන එකකි. කාලෙ පත්තරෙන් දෙන හවුරුද්දේ ගැමියා සම්මානයට ජුලියන් අයියාගේ නමද යෝජනා වුනේය. පත්තරේ කියෝන ගැමියෝ කිව්වේ ඒ සම්මානය ජුලියන් අයියාටම ලැබිය යුතු බවය. ඒ උනාට ඒ සම්මානේ දුන්නේ එක්සත් ගමේම බර සල්ලිකාර කොලු ගැටයෙකුටය.

මේ විදියට ජුලියන් අයියාගේ රෙද්ද ගලවන්න හැදුවත්, කාන්දුව පත්තරේට කාසි පනම් නතර කෙරුවත් එක්සත් ගමේ අයට එක ලොකු දෙයක් අමතකය. ඒ උන් තාමත් ඉන්නේ හෙළුවෙන් බවය.

සතුටු වීම

ලංකාවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නොමිලෙනෙ. නිකං දෙන දේවල වටිනාකමක් නෑ කියලා කියන නිසාද කොහෙද විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හැම අවුරුද්දෙම ලියාපදිංචි ගාස්තු විදියට බොහොම පොඩි ගාස්තුවක් අය කරගන්නවා.

අපි විශ්වවිද්‍යාලයේ ගිය මුල් අවුරුද්දෙ මේ ගාස්තුව රුපියල් 50 යි. ඒත් ඊලඟ අවුරුද්දෙ ලියාපදිංචි ගාස්තුව රුපියල් 200 කළා. 300% කින් ගාස්තු වැඩි කළාම ඉතින් ඇඟට දැනෙනවනේ. ඉතින් බොහෝ දෙනා මේ ගාස්තු වැඩි කිරීමට විරුද්ධව තැන තැන කථාබහ කළා.

“නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන, අධ්‍යාපනය විකුණන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත හෙළා දකිමු” කියලවත්, එහෙම නැත්නම් “ලියාපදිංචි ගාස්තු අහෝසි කරවු” කියලවත් පොස්ටර් එල්ලගෙන උද්ඝෝෂණ කරන්නෙ නැතුව අපි සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනා.

අපේ පීඨ ශිෂ්‍ය සංගමයෙ ප්‍රමුඛත්වයෙන් මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල බලධාරීන් එක්ක සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදියට ලියාපදිංචි ගාස්තුව රුපියල් 100 දක්වා අඩු කළා. මේ තීරණය ශිෂ්‍ය සංගම් නිලධාරීන් හරහා සිසුන්ට දැනුම් දුන්නහම හැම දෙනාම බොහොම සතුටු වුනා “රුපියල් 100 ක් ම අඩු කරගත්තනෙ” කියලා. “කොහොමද අපේ වැඩ? අපි කට ඇරියොත් ඉතින් නෝ හෙල්ලුම්! පොල් මැල්ලුම්!” කියලා කියපු අයත් ඉන්න ඇති.

රුපියල් 100 කින් ගාස්තු අඩු කරගත්තා කියලා සතුටු වුන බොහොමයක් අයට තේරුනේ නෑ රුපියල් 50 කින් ගාස්තු වැඩි වුන බව! ඇත්තටම දුක් වෙන්න ඕනෙ සිද්ධියක්නෙ වුනෙ..

ඊයෙ ඕස්ට්‍රේලියාව පරාද කරලා ක්‍රිකට් තරඟය දිනුවහමත් ගොඩක් දෙනා “මරු මැච් එක! ඊලඟ මැච් එකත් මේ වගේම තිබ්බොත් මරු!” කියලා සතුටු වුනා. ඒත් ඒ සතුටු වීම ලියාපදිංචි ගාස්තු අඩු කිරීමෙන් සතුටුවීමට සමානයි කියලා මට හිතුනා.  ක්‍රිකට් ක්‍රීඩාවේ තියන වින්දනය උපරිම වුන තරඟයක්  ජයග්‍රහණයෙන් සතුටු විය යුතුයි.

නමුත් අපේ මුල්පෙළ පිතිකරුවෝ ටිකක් පරීක්ෂාකාරී වුනානම් ජයග්‍රහණය ඊටත් වඩා ඉහළින් සමරන්න තිබුනා. හරියට ගාස්තු වැඩි කරන්නෙම නැතිව තිබුනා නම් වගේ! ඒ වගේ ජයකදි, ඊයේ ජයග්‍රහණය වගේ විශේෂයෙන් සමරන්න දෙයක් නොතිබෙන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ පරිණතබව වගේම ලෝක කුසලාන තරඟ මාලාවට සූදානම පෙනෙන්නේ වගකීමෙන් තරඟ කළොත් විතරයි.

හොරකම සහ දඬුවම

නව පරපුරේ නිළියක් වන උදාරි වර්ණකුලසූරිය ඔඩෙල් ආයතනයෙන් ඇඳුම් හොරකම් කිරීමට ගොස් අසුවීමක් ගැන පසුගිය දවස්වල පුවත්පත්වලින් වගේම අන්තර්ජාලය හරහාත් නොඅඩුව කථාබහ කෙරුනා. ඒ පිළිබඳව උසාවියේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.

ඒ සිද්ධියට අදාල ඡායාරූපයක්ද මේ වනවිට සංසරණය වෙනවා. මේ ඡායාරූපය දැක්ක ගමන් “හොඳ වැඩේ..හොරකමේ ගිහින් අහුවුනාට ඔහොම කරල මදි!” කියලා ගොඩ දෙනෙක් හිතන්න ඇති. මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත හෝ ඇය සැබැවින්ම රෙදි හොරකම් කළාද නැද්ද යන්න පිළිබඳව මට කීමට නොහැකියි. නමුත්, මේ ඡායාරූපය සත්‍ය එකක් සහ ඇඳුම් හොරකම් කිරීමට උත්සාහ ගැනීම නිසා ඇයව දණගස්වා තිබුණායැයි සිතමු.

යමෙක් හොරකම් කර අසුවූ විට ඔවුනට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ කාටද?

හොරකමට ලක්වූ තැනැත්තාටම හොරාට දඬුවම් කිරීමේ අයිතියත් ලබා දී තිබේනම් නීතිය සහ අධිකරණය පද්ධතියක් තියෙන්නේ ඇයි?

හොරකමකදී හොරාව අල්ලා පොලීසියට භාරදීම සහ ඒ ගැන පැමිණිලි කිරීම හැර වෙනත් යමක් කිරීම මහජනයාගේ (හෝ සිවිල් ආයතනයක) වගකීම නෙවෙයි. දඬුවම් කිරීමක් වෙනවානම් එය සිදුවිය යුත්තේ උසාවිය හරහායි. පොලීසියට හෝ මහජනයාට යමෙකුට දඬුවම් කිරීමේ අයිතියක් නෑ.

මේ සියල්ලම හරියට වෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවානම් පමණයි. අපක්ෂපාත නීති සහ අධිකරණ පද්ධතියක් තිබේනම් ගැටළුවක් නෑ. නමුත් ලංකාවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම ගැන අමුතුවෙන් කිවයුතු නෑ. අපේ රටේ හාල්මැස්සො වගේ පොඩි හොරු අහුවෙද්දි තෝරු-මෝරු වගේ මහ හොරු නීතියෙ සිදුරු වලින් රිංගලා යන එක නොඅඩුව සිද්ධ වෙනවා.

රටේ නීති පද්ධතියේ දුර්වලතා තිබුනත් මහජනයා නීතිය අතට ගැනීම අනුමත කරන්න පුළුවන්ද? නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය-උසාවිය මෙන්ම මහජනයාත් නීතිගරුක ලෙස හැසිරිය යුතුයි. විශේෂයෙන්ම ආයතනයක් නීතිගරුකව හැසිරිය යුතුයි. පුද්ගලයෙක් නීතිය කඩකිරීමට වඩා ආයතනයක් නීතිය කඩකිරීම වෙනස්.

ඔඩෙල් වැනි ප්‍රසිද්ධ ආයතනයක් පුරවැසියෙකුට දඬුවම් කිරීම නීතිය ක්‍රියාත්මක කිරීමේ විශාල අඩුපාඩුවක් ලෙසයි මම දකින්නේ. පොලීසිය අදාල හොරකම පිළිබඳව චූදිත නිළියට නඩු පවරනා අතරම, නීතිගරුක ලෙස නොහැසිරුනු ඔඩෙල් ආයතනයට විරුද්ධවත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි මගේ මතය. එහෙම නොවුනොත්, තමන්ගේ ආයතනයෙන් හොරකමක් කළ පුද්ගලයෙක් අල්ලගෙන හොරාව ගස් බැඳලා දිමිගොටු දාන ආයතන නොඅඩුව බිහිවෙයි.

උදාරි හොරකමක් කළානම් එයට උසාවියෙන් දඬුවම් හිමිවිය යුතුයි. නමුත් ඇය ඔඩෙල් ආයතයේදී දඬුවමක් වින්දානම්, ඔඩෙල් ආයතනයට විරුද්ධව නඩුවක් පැවරීමෙන් ඇයට විශාල මුදලක් හොයාගත හැකිබවයි මට හිතෙන්නේ!

නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන පොලීසිය-උසාවියටම දොස් කියනවාට අමතරව අපිත් නීතිගරුක පුරවැසියන් වෙමු.