ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය ඇයි

මැදපිලිවෙත සිංහල බ්ලොගයේ “උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කල යුතුද?” ලිපිය කියවීමෙන් ඒ මාතෘකාව පිළිබඳව මගේ සිතුවිලි ගැන ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනෑ මේ ලිපියේ අරමුණ උසස් අධ්‍යාපයන පෞද්ගලීකරණ කළ යුතුයි කියන එක නෙවෙයි, ලංකාවට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි කියන එක බව.

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය වෙන්නේ 1978 විශ්වවිද්‍යාල පනත මඟින් පිහිටවූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. (දන්න සිංහලෙන් කියනවා නම් University Grants Commission හෙවත් යූ.ජී.සී එකෙන්.)

එහි වෙබ් අඩවියේ ඇති විස්තර වලට අනුව ලංකාවේ ඇති විශ්වවිද්‍යාල පද්ධතිය පහත පරිදියි.

  1. විශ්වවිද්‍යාල (Universities) – 15
  2. (විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත) මණ්ඩප (Campuses) – 3
  3. විද්‍යාස්ථාන (Institutes)- 17 (උපාධි, පශ්චාත් උපධි/ඩිප්ලෝමා, ඩිප්ලෝමා ප්‍රදානය කරන ආයතන මේ අතර වේ)
  4. වෙනත් (අමාත්‍යංශ යටතේ ඇති) රජයේ විශ්වවිද්‍යාල (Other government universities) – 3
  5. උපාධි ප්‍රදානය කරන (පෞද්ගලික හෝ රජයේ) ආයතන (Other recognized degree institues) – 8

උපාධි ප්‍රදානය කරන (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිළිගත්) ‘පෞද්ගලික’ ආයතන 3 ක් ලංකාවෙ තියනවා. මුදල් ගෙවා ඉගෙනගතහැකි උපාධි පාඨමාලා ගණනාවක්ම රාජ්‍ය අංශයේ ආයතන වලිනුත් පවත්වනවා. (මේ ආයතන පිටරටවල උපාධි ලබාදෙන ආයතන නොවේ. පිටරටවල විශ්වවිද්‍යාලවල උපාධි ලබාදෙනබව කියන උපාධි කඩ වෙනම තියනවා.) එතකොට ලංකාවෙ ‘පෞද්ගලික විශ්වවිද්‍යාල’ කියන නම නොතිබ්බට උපාධි ලබාදෙන ආයතන තියන බව බොහොම පැහැදිලියි. ඒ ආයතනවල ඉගෙනගන්න සිසුන් බොහෝ ගණනක්ද ඉන්නවා. එම ආයතන ‘විශ්වවිද්‍යාල’ ලෙස නම් කිරීමෙන් එම ආයතන වලට නිසි පිළිගැනීමක් ලැබෙනවා.

ලංකාවෙ උසස්පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලෙට ඇතුලත් වෙන්න 60% ක පමණ සුදුසුකම් ලැබුවත් විශ්වවිද්‍යාලෙට ඇතුලත් වෙන්නෙ එම අයගෙන් 16% ක් පමණ පිරිසක්. ඉතිරි 84% න් සුළු පිරිසක් රජය යටතේ තියන ආයතනවල වෘත්තීය අධ්‍යාපනය වෙතට යොමු වෙනවා. අනිත් අයට වෙන්නෙ රැකියාවක් සොයාගන්න. එහෙම නැත්නම් මුදල් ගෙවා වැඩිදුර ඉගෙනගන්න. අපේ රටේ විෂය මාලාවේ හොඳකම නිසා උසස්පෙළ විතරක් සමත් වෙල කරන්න පුළුවන් රැකියා ඕනතරම් තියනවනෙ..මොකට කියනවද? ඉතින් වැඩි පිරිසකට සිද්ධ වෙන්නෙ මුදල් ගෙවලා අර කෝස්-මේ කෝස් කියල තියන හොර ගුහා වලට සල්ලි පූජ කරල මොනවා හරි සුදුසුකම් ටිකක් අටවගන්න.

හොඳට සල්ලිය-බාගෙ තියන ඇත්තෝ පිටරට විශ්ව විද්‍යාලයකට යනවා උපාධියක් ගන්න. දෙමව්පියෝ ඉඩකඩම් විකුණලා හරි දරුවන්ට උගන්නන්න වියදම් කරනවා. ඒ අපේ රටේ සල්ලි පිටරට යන හැටි.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න ඔක්කොම විසඳෙන්නෙ නෑ. ඒත් අර විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබන, ඒත් රජයේ විශ්ව විද්‍යාලවල සීමිත පහසුකම් තියන නිසා ඒ අවස්ථාව අහිමිවන 84% දෙනාට  වැඩිදුර ඉගෙනගන්න කැමතිනම් අවස්ථාවක් ලැබෙනවා. පිටරටක ඉගෙනගන්නකොට යන නවාතැන් කුලී, ගමන් ගාස්තු  වගේ දේවල් අඩුවෙන් යන නිසා සාධාරණ මුදලක් වැය කරලා ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට දරුවන්ව පිටරට යවන්න වත්කමක් නැති මධ්‍යම පංතියේ දෙමව්පියන්ටත් තමන්ගෙ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් වේවි. ඒත් එක්කම එක එක වර්ගයේ කෝස් වලට සල්ලි පූජ කරන්නෙ නැතිව පිළිගත් උපාධියක් සඳහා ඉගෙන ගන්න රජයේ විශ්ව විද්‍යාලවලට යන්න බැරිවුන සිසුන්ට අවස්ථාව ලැබෙනවා.

හොඳ පහසුකම් තියන විශ්ව විද්‍යාල ඇති වුනොත් වෙනත් රටවලිනුත් සිසුන් ආකර්ෂණය කරගන්න අවස්ථාව තියනවා. එතකොට අපේ රටටත් විදේශ විනිමය උපයන්න පුළුවන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන්.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් ඇතිවෙන ඊලඟ වාසිය විදියට මම දකින්නෙ රජයේ විශ්ව විද්‍යාලවලට තරඟයක් ඇති වීමයි. එතකොට දැනට නිකං ලැබෙන නිසා කිසි වටිනාකමක් නැතිව ඉගෙනගන්න උපාධිය උනන්දුවෙන් ඉගෙනගෙන, හැකි ඉක්මනින් ඉවර කරන්න රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් උනන්දු වේවි. දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ නැතිව, විෂයමාලා අලුත් කිරීම, ඉගෙනගැනීමට පහසුකම් ඉල්ලීම වගේ වගේ ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන් පෙළඹේවි.

හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමත් සමඟම ඒවායෙන් රජයට ලැබෙන බදු මුදල් රජයේ විශ්ව විද්‍යාලවලටම ආයෝජනය කිරීම වගේ වැඩ පිළිවෙලකටත් යන්න වෙනවා. මොකද එහෙම නැත්නම් රජයේ විශ්ව විද්‍යාල වලට භෞතික සහ මානව කියන සම්පත් දෙවර්ගයෙන්ම පසු බහින්න ඉඩ තියන නිසා.

රටේ පුහුණු ශ්‍රම බලකාය වැඩි වෙනකොට පුහුණු ශ්‍රමය අවශ්‍ය කර්මාන්ත අරගෙන ආයෝජකයො රටට එන්න ගනීවි. සිංගප්පූරුව, තායිවානය හොඳම උදාහරණ.

දැනට අපේ රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහි කරන්නෙ රටේ අවශ්‍යතාවයට ගැලපෙන උපාධිධාරීන් අනුපාතයක් නෙවේ. ඒ කියන්නෙ කලා උපාධි ලබන්නන් ප්‍රමාණය වැඩියි තාක්ෂණ, වාණිජ උපාධිලාභීන්ට වඩා. ඒ නිසයි රැකියා විරහිත උපාධිධාරියො මහ ගොඩක් ඉන්නෙත්, ෂයිලොක් මස් රාත්තල ඉල්ලුවා වගේ ඔවුන් රජයේ රැකියාවක් ඉල්ලන්නෙත්. (ඔවුන්ට රජයේ රැකියා නොදියයුතුයි කියලා කිව්ව නෙවෙයි ඔන්න.) පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමෙන් රටේ රැකියා වෙළඳපොළේ ඉල්ලුමට සරිලන විදියට උපාධිධාරීන් සැපයීමක් ඇති වේවි.

දැනට රජයේ විශ්ව විද්‍යාල මුහුණපාන බරපතල ප්‍රශ්නයක් තමා වැඩි වැඩියෙන් සිසුන් බඳවාගන්න සිදුවීම. රජයේ බල කිරීමට සිසුන් බඳවා ගත්තත්, සිසුන්ට අධ්‍යාපනය සැපයීමේදී විවිධ ප්‍රශ්න මතු වෙනවා. ඊට හේතුව සිසුන් වැඩිවීමට සාපේක්ෂව සම්පත් වැඩි නොවීමයි. උදාහරණයක් විදියට වසර 2000 දි 14.5 ක් ව තිබූ ගුරු-සිසු අනුපාතය 2008 වෙනකොට 15.9 දක්වා වැඩි වෙලා. පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමෙන් රජයට අමතර ආදායමක් ලැබෙන නිසා විශ්ව විද්‍යාලවලට අවශ්‍ය සම්පත් වැඩි කිරීමට පියවර ගන්න පුළුවන්. (පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් රජයට ලැබෙන ආදායම නැවත රජයේ විශ්ව විද්‍යාල වලටම ලැබෙන විදියේ වැඩපිළියෙලක් අවශ්‍යමයි.) ඒ අතරම විශ්ව විද්‍යාලවලට ප්‍රමාණාත්මකව (quantitative) නොව ගුණාත්මකව (qualitative) දියුණු වෙන්න ඉඩ ලැබෙනවා.

රටක විශ්ව විද්‍යාල වැඩි වීමෙන් ඒවා අතර ඇතිවන තරඟයේ ප්‍රතිඵලයක් ලෙස රටට අවශ්‍ය පර්යේෂණ වැඩි-වැඩියෙන් සිදු වේවි. (මේක එක දවසෙන් සිදු වෙන දෙයක් නෙවේ. දිගු කාලීනව බලාපොරොත්තු වෙන දෙයක්.) රටට උචිත පර්යේෂණ වලින් අලුත් කර්මාන්ත පටන්ගෙන ආර්ථික දියුණුවට උදව් දේවි.

හුඟක් අය අහන ප්‍රශ්නයක් තමා, උදාහරණයක් විදියට රජයේ විශ්ව විද්‍යාලයක ජීව විද්‍යා පාඨමාලාවටවත් ඇතුලත් වෙන්නවත් සුදුසුකම් නොලබපු කෙනෙක් සල්ලි තියන නිසා වෛද්‍ය විද්‍යාව ඉගෙන ඉඩකඩ ලැබෙනවා නේද කියලා. (ඒක දැනටත් වෙනවනෙ ඒ අය පිටරට ගිහින් ඉගෙනගන්න එකෙන්.) ඒකට කියන්න තියෙන්නෙ ඒ පුද්ගලයාට වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න පුළුවන් නම් විභාග සමත් වෙලා ඉගෙන ගනීවි කියලයි. සල්ලි ගෙව්ව පලියට විභාග සමත් කළොත් ඒ විශ්ව විද්‍යාලයේ නම කැත වෙනබව දන්න නිසා අදක්ෂයන්ව සමත් නොකරන්න ඒ විශ්ව විද්‍යාලයෙන් වග බලා ගනීවි. එහෙම නොවුනොත් ඔවුන් (උදාහරණයක් ලෙසට වෛද්‍යවරුන් සඳහා ඇති ) පොදු පරීක්ෂණ අසමත් වේවි. එහෙමත් නැත්නම් රැකියාවකට ගියාම වැඩ කරගන්න බැරි නිසා අමාරුවෙ වැටේවි. (එතකොට රැකියා ලෝකය දැනගන්නවා ඒ විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ගෙ තරම. එතකොට ඒ විශ්ව විද්‍යාලයට එන සිසුන් ප්‍රමාණය අඩු වේවි.  ඒ නිසා ප්‍රමිතිය ආරක්ෂා කරගන්න ඒ පෞද්ගලික විශ්ව විද්‍යාල පෙළඹේවි, අදක්ෂ සිසුන් සමත් නොකිරීමෙන් . ) ඉන්දියාවෙ විශ්ව විද්‍යාල පද්ධතිය මේකට උදාහරණයක්. ලංකාවෙ විවෘත විශ්ව විද්‍යාලයත් මේ ප්‍රමිතිය රකින නිසා ලේසියෙන් උපාධි ගන්න බෑ.

සිසුනුත් තමන් ආසාව නිසා කරන්න ගත්තට කරන්න බැරි සංකීර්ණ විෂයයන් අතෑරලා ලේසි විෂයකට මාරු වේවි. (මේක ඇමරිකාවෙදි දකින දෙයක්. එන්නෙ ඉංජිනේරුවො වෙන්න. පස්සෙ හෙමින් සැරේ ලේසි major එකකට මාරු වෙනවා.)

ලංකාව ආර්ථිකව ආර්ථිකව සංවර්ධනය වුන කාලෙක රාගම පිහිටවූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය බවට හරවමින් රජයට පවරාගත්ත වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල සියල්ලමත් (ඒවායේ හිමිකරුවන්ට නිසි මුදලක් ගෙවා) C.W.W. කන්නංගර මහතාගේ නිදහස් අධ්‍යාපන දර්ශනය ක්‍රියාත්මක කරමින් රජයට පවර ගන්න පුළුවන්.

ලංකාවෙ උසස් අධ්‍යාපනයට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය බව තේරුම් අරගෙන ඒවා පිහිටුවන්න පෞරුෂයක් ඇමති S.B. ට තියේවිද? රජයේ විශ්ව විද්‍යාලත් ආරක්ෂා වී වැඩි දියුණුවන විදිහේ වැඩපිළිවෙලක් සකස් කරන්නට ඔහුට හැකි වේවිද?

පින්තූරෙ ගත්තෙ මෙතනින්

“ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය ඇයි” වෙත සිතුවිලි 15ක්

  1. ඉතාමත් අනර්ඝ විමර්ශනාත්මක සටහනක්. විරුද්ධ වන අයට පැත්තක් අල්ලගන කෑ ගහනවාට වඩා මෙතැන ලියූ කරුණු වටහා ගන්න හැකි වෙයි නම් රට ඉස්සරහට යයි.

  2. ම්හ් හොදයි.පොඩි පරහක් තියෙනවා අපේ දේශපාලුවෝ ඒ ගොල්ලන්ගෙම පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්න පටන් ගනීද ? නිකම් අන්තර්ජාතික පාසල් පටන් ගත්තා වගේ කිසිම තත්ත්වයක් නැතුව.

    අපේ ජේ වී පී අයියාලා අයිත් කැරල්ලක් දායිද දන්නේ නැ.

    1. ඔව්. ඒකෙ ඉඩකුත් නැතිව නෙවයි. සල්ලිවලට ඕන දෙයක් කරයි ඒගොල්ලො නම්.

      ලලිත් ඇතුලත්මුදලි මහපොල අරමුදල හැදුවා වගේ දූරදර්ශීව පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳවත් කටයුතු කරන්න ඕනෙ. විවිධ පාර්ශව එල්ල කරන චෝදනාත් සැලකිල්ලට ගනිමින්, එක එක්කෙනාගෙ පෞද්ගලික අවශ්‍යතා ඉටු නොවෙන විදියට විශ්ව විද්‍යාල පනත සංශෝධනය කරන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වේවි! ඒත් ඒක කාලීන අවශ්‍යතාවයක් කියලයි මට හිතෙන්නෙ.

      ජාත්‍යන්තර පාසැල් කියලා ඔය දාන කඩ හැම එකකටම නිසි පිළිගැනීමක් නෑනෙ. හොඳට කරන ඒවට තමා ඉල්ලුම තියෙන්නෙ. පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගත්තත් ඒ විදියටම වෙයි.

  3. |You guys should read this

    ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල – [සුපුන් පෙරේරා]

    වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

    2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

    ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

    අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.

  4. Pl read this article it contains a lot of points that highlighted by you

    සරසවි ආචාර්යවරුන්ගේ සටනට පසුවදනක්
    වැඩි පඩි ඉල්ලා සරසවි ආචාර්යවරුන් මෑතකදී එලියට බැස්සේය. ඔවුන් එසේ එලියට බැස්සේ සරසවි සිසුන්ට හෝ මෙරටේ ජනතාවට ඇති ආදරයකින් නොවන බව අප දනිමු. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල සිසුන්ට පුස්තකාල , සෞඛ්‍ය , ක්‍රීඩා යනාදී පහසුකම් නොව පෙට්ටි කඩෙන් ලාබෙට ගන්නා ඉටි කොලේ ඔතපු එක ව්‍යංජනයේ නීරස බත් එක කා අත හෝදගන්නට හරි හමන් ටැප් එකක් පවා නැත. එවැනි පහසුකම් සිසුන්ට ඇති කර දීමට සරසවි ආචාර්යවරුන් එලියට බැස්සේ නැත. එලියට බැස්සේ තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් සඳහාය.

    පිටරට විශ්ව විද්‍යාල වල මෙන් ලංකාවේ විශ්ව විද්‍යාල වල සරසවි ආචාර්යවරු සහ සරසවි සිසුන් අතර දැනුම , අනාගත වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීමේ කතිකා නැත. ඇත්තේ හූව, කැලෑ පත්තර සහ ගුටි ඇන ගැනීමේ සන්නිවේදන කලාවයි. එම නිසා අපේ විශ්ව විද්‍යාල වලින් ගැඹුරු මිනිසුන් බිහි වෙන්නේ නැත. ලිංගික අසහනය , පන්ති වෛරය සහ හීනමානය යන තුන් කලාව පිරි ඇති ලංකාවේ විශ්ව විද්‍යාලවලවලට සුදුසුකම් ලැබුවද දැන් ඇති හැකි එවුන් එන්නේ නැත. උන් යන්නේ ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලටය. මෙවැනි පරිසරයක් විශ්ව විද්‍යාලවල තිබීම ජෙප්පන්ට නම් කල්ල මරේය. ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව සාක්ෂරතාවය අඩු අප්‍රිකාවේ රටවල විශ්ව විද්‍යාල වලටත් වඩා පසු පස සිටින නිසා පෞද්ගලික අංශයේ රැකියා පවා ලැබෙන්නේ බටහිරට ගොස් ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමාවක් හෝ ලබාගත් තැනැත්තාටය. අවශේෂයන් ඉසුරුපාය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගොඩනැගිල්ල ඉදිරියට ගොස් පිනට ආණ්ඩුවෙන් රැකියාවක් දෙන තුරු උපවාස කාල යුතුය. ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් 40,000 රැකියා දුන් නමුත් ඔවුන්ගෙන් රාජ්‍ය කාර්යක්ෂමතාවට වූ පිටුවහලක් නැත. ගිරා දැනුම මිස ප්‍රයෝගික දැනුම බහුතරයකට නැත. මෙය අමිහිරි නමුත් සත්‍ය යථාර්තයයි.

    ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙවැනි පහත් තත්වයකට වැටී ඇති බව එස්. බී පමණක් නොවේ රජතුමාද හොඳින් දනියි. එම නිසා එලදායිතාවක් නොමැති අපගේ විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වසා තැබුවත් එය රටට පාඩුවක් නොවන බව මේ දෙපොල හොඳින්ම දනිති. එම නිසා අවශ්‍ය වුවහොත් විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වුවද වසා තබන බව එස් .බී පාරම් බෑවේය. වෙනත් රටක ඇමතිවරයෙක් (විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ) එසේ කිවේ නම් මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවම විරෝධතාව දැක්වීමට ඉඩ තිබුණි. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාලවල කෙරෙන්නේ සහ තමන්ද කරන්නේ බොරුව බව සරසවි ආචාර්යවරු දනිති. එම නිසා එස් බී ගේ කතාවට කිසිම විරෝධතාවක් නාවේය.

    සරසවි ආචාර්යවරුන් තමන්ගේ පර්මිට් වාහනයට දක්වන්න සැලකිල්ලෙන් සහ අවධානයෙන් සියයට එකක් තමන්ගෙන් ඉගෙන ගන්නා සරසවි සිසුවාට යොමු කළේ නම් ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල මෙතරම් පහලට වැටෙන්නේ නැත. බොහෝ සරසවි ආචාර්යවරුන් තමන්ගේ ළමුන්ව උසස් අධ්‍යාපනය සදහා ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලට යැවීමට සැලසුම් හදනවා මිස තමන් උගන්වන විශ්ව විද්‍යාල වලට තම දරුවන් ඉගෙන ගැනීමට එනවා දැකීමට අකමැතිය. ඊට හේතුව මෙතන සිදුවන්නේ බොරුව බව හොඳාකාරවම දන්නා බැවිනි.

    සරසවි ආචාර්යවරු උගන්වන්නේ පරණ දැනුමය. ඔවුන් අලුතින් යමක් නොකියවති. ටියුෂන් දීමට හා දේශපාලන පක්ෂ වලට කඩේ යාමට තිබෙන නිසා එසේ කියවීමට කාල වේලාවද නැත. තමන්ගේ ගුරා තමුන්ට දුන් නෝට්ස් ටික ගෝලයන්ට දෙති. ගෝලයන්ද ඒවා ගිරවුන් මෙන් කටපාඩම් කර ගනිති පරිගණක යුගයට ගැලපෙන නවීකරණයක් නැත. යමක් අධ්‍යනය කරන්නේ හෝ බුද්ධි කලම්බනයක් ප්‍රොජෙක්ට් එකක් කිරීමට හෝ උත්සහයක් නැත. වෙනත් රටවල විශ්ව විද්‍යාල වල මෙන් තමන් උගන්වන විෂයේ විෂය පාඨමාලා ප්‍රසිද්ධ කරන්නේ නැත. ඒවා රස රහස් ය. ඇතැම් සරසවි ආචාර්යවරු සිසුන් ගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කරන ක්‍රමය අපුරුය. කාමරයේ විදුලි පංකාව උපරිමයට දමා පිළිතුරු පත්‍ර උඩ දමති. මධ්‍යට වැටෙන පිළිතුරු පත්‍ර වලට වැඩි ලකුණුද ඈතට පාවී යන ඒවාට අඩු ලකුණුද ලැබේ. බොහෝ විට පන්ති සාමාර්ථයක් ලැබීමට ආචාර්යවරයා සමග යහන් ගතවිය යුතුය. සමහර කථිකාචාර්යවරු සිසුවියන්ගෙන් ප්‍රසිධියේ ලිංගික අල්ලස් ඉල්ලති. වැඩි පඩි ඉල්ලා මිස විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට සහය වෙයව් කියා සරසවි ආචාර්යවරුන් එලියට බසින්නේ නැත. එසේ ගුණාත්මකබව වැඩි කිරීමට ඔවුන්ට උවමනාවක් ද නැත. මෙය අද දවසේ අපි හමුවේ ඇති කටුක සහ විපරිත සත්‍යයි.

    අමිල ගුණරත්න

  5. අපි මේක ගැන කථාකරලා අවුරුදු 4කුත් ගිහිල්ලා. තාම වි.වි. වසා දාමා ළමුන්ගේ කාලය කා දැමීමට වඩා දෙයක් වෙන්නේ නැහැ. සිසු මර්ධනය ගැන මම එකඟවෙන්නේ නැහැ. ට්විටර් එකේ මාත් එක්ක විවාදයක් ගිය කෙනෙක්. ඒ නිසා මම මේක නැවත කියෙව්වා. Hopefully you are doing well 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න