විභාගය නිමාවී කැසිකිලි ගිය සඳ

මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශය මුත්‍රා කතන්දරවලින් පිරී ඉතිරී යනවා. කතන්දරකාරයා පටන්ගත්ත චූ කතන්දර දැන් වසංගතයක් වගේ බෝවෙලා, හැමෝම තමතමන්ගේ චූ කතන්දර ලියනවා. මගෙ චූ කතන්දර ලියන්න ගියොත් අපි ආව-ගිය තැන් වලින් ගහලා පන්නයි. ඒවා ඒ තරමටම අභ්‍යාසයි. චිකේයියා…ඒත් අඩු තරමේ එක චූ කතාවක්වත් නොකියා ඉන්න හිතෙන්නෙත් නෑ.

විශ්වවිද්‍යාල ජීවිතේ පළවෙනි සමාසිකය අවසානයේ විභාගෙ, සිංහලෙන්ම කිව්වොත් ෆස්ට් සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් එකත් ආවා. හරියට ලෙක්චර්ස් යන්නෙත් නැතුව, පාඩම් කරන්න කියලා ගන්න ඕනෙ පොත් මොනවද කියලා දන්නෙත් නැතුව, පරණ ප්‍රශ්නපත්තර කියලා දෙයකුත් (හොයාගන්නවත්) නැතුව විභාග කරන්න ගියා කියමුකො! උසස්පෙළ සුපර් විදියට පාස් උනත් (අනේ පොර වෙන්න කිව්ව නෙවෙයි ඕං), කැම්පස් ඇවිත් කෙලපු පිස්සුවල හැටියට (සහ කැම්පස් දෙකකටම ගිය හැටියට) ඒ විභාග ටිකට කෙල වුනා කියලා ලියනකොටම තේරුනා.

අනේ ආසාවෙන් ඉගෙනගන්න හිටිය විෂයකට දුන්නනෙ මරු ප්‍රශ්න පත්තරයක්. පන්තියෙ උගන්නපු දේවල්වලින් ප්‍රායෝගික විදියට තමා අහල තිබ්බෙ ප්‍රශ්න..ඒත් පන්තියෙදි අපිට ඉගෙනගන්න ලැබුනයැ.. හිටියනෙ ගැටා හෙවත් ගැටළුවා.. “සර් අයි හෑව් අ ක්වෙස්චන්” කියලා මූ අහන දේට අඹරලා උත්තර දිදී සර්ලා ඉගැන්නුවා මිස තේරෙන විදියකට උගන්නන්න ලැබුනේ නෑනෙ. ඉතින් ඒ පේපර් එකට කෙල උනා කියලා ලියනකොටම තේරුනා. (ගැටෝ, තෝ අහුවෙයංකො..)

කැම්පස් එකේ පළවෙනි දවසෙ ඉඳලම මගේ මිත්තරයා තමා කොටා. (මූ අපේ ඉස්කෝලෙවත් නෙවෙයි..එදාමයි දැක්කෙ. කරුමෙට මටම සෙට් උනා.) කොටාගැන කලින් කතාවකත් කියලා තියෙනවනෙ. ඉතින් කොටයි, මායි පේපර් එක ලියලා (ලියන්න උත්සාහ කරලා) පැය ගානක් තිස්සෙ තියන චූ බර නිදහස් කරගන්න ගියා කැසිකිලියකට. විභාග ශාලාව ගාව තියන කැසිලිකියකට චූ කරන්න යන්න හිටියනම් තාම පෝලිමේ ඉන්නවා. ඒ නිසා කැන්ටිමක් ගාව තියන (ඒ කාලෙත් හද්ද) පරණ කැසිකිලියකට තමා ගියෙ.

ඉතින් කොටයි, මායි පේපර් එකට ලියපු හැයි කථා කරකර චූ කරනවා. නොදන්න දේවල් වලට බොරු ලියපු ඒවයි, ගණන් වැරදියට හදපු ඒවයි කියෝ කියෝ නිදහසේ චූ බර නිදහස් කරගන්නවා. චූ කරලා ඉවරවෙලා (කලිසමේ zසිප් එකත් දාගෙන) යන්න හදනකොට අපිට පිටිපස්සෙ චූ කර කර හිටපු කවුද අහනවා “කොහොමද පේපර් එක. පන්තියෙ උගන්නපු දේවල්ම නේද?” කියලා.

අපිත් බැලුවාම කවුද මේ කියලා, හුටා! මේ ඒ විෂය උගන්නපු සර්ල දෙන්නගෙන් එක්කෙනෙක්!! අපි දෙන්නගෙ කථාව එහෙමපිටින්ම අහගෙන ඉඳලා පොර! දැන් මොනවා කියන්නද..බොරු කියන්නයැ. ඇත්තම කිව්වා “සමහර දේවල් දන්නෙ නෑ සර්, බොරුත් ලියලා ඇති” කියලා. ඊට පස්සෙ ඉක්මනින්ම එතැනින් මාරු වුනා.

කොහොමහරි ප්‍රතිඵල එනකොට ඒ විෂයට කොටාට B එකක්ද කොහෙද. මට ලොකුවැයින් C එකක්! මදෑ කොළා!! විභාගෙට ලියපු හැටියට තමා ප්‍රතිඵල. බැච් එකේ 500 කගෙන් විතර එකම එක A+ එකක් තිබ්බා. වැඩේ කියන්නෙ ඒ A+ එක තිබ්බ එකා තමා ඒ සෙමෙස්ටර් එකේ බැච් ටොප්.

හොඳම වැඩේ කියන්නෙ පළවෙනි අවුරුද්ද අන්තිමේ කැමති ක්ෂේත්‍රය තොරගනිද්දි, ඒ කියන්නෙ ෆීල්ඩ් සිලෙක්ෂන් වලදි වෙන වෙන විෂයන්ට A තිබ්බත්, කොටයි, මායි දෙන්නම පළවෙනි කැමැත්ත විදියට දැම්මෙ අර විෂයට අදාල ක්ෂේත්‍රයමයි. කරන්න උනෙත් ඒකම තමා! පස්සෙ කාලෙක කොටා ඒ විෂයම කැම්පස් එකේ ඉගැන්නුවත් එක්ක.

ප.ලි.

ගැටත් පඬියා වගේ ප්‍රශ්න ඇහුවට පොරටත් ඒ විෂයට තිබ්බෙ B එකක් වගේ මට මතක. පොර ඉගෙනගත්තෙත් ඒ විෂයට අදාළ ක්ෂේත්‍රයෙන්. ඒ කිව්වෙ මායි, කොටයි, ආතර් සී ක්ලාක්ගෙ මළගෙදර යන්න හිතන් හිටි සුදයි එක්කම තමා. ගැටා නම් ඒ විෂයෙන්ම පශ්චාත් (හෙවත් පස් තාච්චි) උපාධියකට ඉගෙනගන්නවා මේ දවස්වල.

“විභාගය නිමාවී කැසිකිලි ගිය සඳ” වෙත සිතුවිලි 6ක්

  1. පුරස්න ගොඩක් තියෙයි නොවැ. ඔය විෂය thermo හරි dynamics හරිද? කොටා අයිය තාම උගන්නවද? ඔයාල ආතර් සී ක්ලාක්ගෙ මළ ගෙදර ගියෙ එක වසරෙදිද? මුළු පැටිකිරියම ඇහුව ඕං. මම හිතනව හරිනම් ගැටා කියන කෙනා දැන් ඉන්න ඕනෙ ජපානෙ. හැබැයි වැඩේ කියන්නෙ ඔයා කවුද කියල නම් දන්නෑ!!

  2. පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඒ දෙකම.
    කොටා දැන් ඉන්නෙ මොන රටේද කියලවත් මම දන්නෙ නෑ. ඌ හැංගිලා!
    ආතර් සී. ක්ලාක් මහත්තය අපි කැම්පස් ඉන්න කාලෙදිනම් මැරුණෙ නෑ. සුදා දැක්ක හීනයක් ගැනයි මම කිව්වෙ.
    ගැටා ඉන්නෙ ජපානෙ නම් නොවෙයි.
    මම කවුද කියන එක වැදගත්ද?

  3. මෙය වූ කතන්දරයක් නෙමේ. පලමු වසරේ ඉගෙනුම පිළිබඳ එකකි.

    චූ කරන තැනදී දේශකයා හමුවීම වෙනුවට, කැන්ටිමේදී, බස් එකේදී, සිනමා ශාලාවකදී ආදේශ කළ ද කතන්දරේ වෙනස් නොවේ.

    සෑබෑ චූ කතාවක නම්, චූ කරන කෑල්ල වෙනුවට වෙන ආදේශයකයක් නැත.

    කතන්දරකාරයා

    1. මම කලින් කිව්ව වගේ මගේ හැබෑ චූ කතන්දර කිව්වොත් ඉඳලා හමාරයි. ඒවා හරිම අභ්‍යාසයි!

      මේක චූ කරනකොට වුන දෙයක් ගැන කථාවක් පමණක් නිසා සැබෑ චූ කතන්දරයක් නොවන බව ඇත්තයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න